රිෂාඩ්ගේ අමාත්‍යංශය දේශපාලන අනාථයෝ නඩත්තු කරන ජාවාරම් ගුහාවක්! අපරාධ කරලා මුස්ලිම් ජනතාව අතර හැංගෙන්න හදන්න එපා! මුස්ලිම් සමාජය පවා නොදී වහාම ඉල්ලා අස්වෙනු! – හිටපු අමාත්‍ය අතාවුල්ලා

May 26, 2019 at 2:23 pm | by admin

බරපතල චෝදනා එල්ල වෙමින් තිබෙන මොහොතක, සිංහල මන්ත්‍රීවරුන් හා ජනතාව තුළ සැකයක් පවතී නම් තවදුරටත් අමාත්‍ය ධූරයේ නොසිට මුස්ලිම් ජනයාව පාවා නොදී අමාත්‍ය ධූරයෙන් රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බව ජාතික කොංග්‍රසයේ නායක හා හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා පවසයි.

අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති දේශනයකදී අතාවුල්ලා මහතා මේ බව කියාසිටියේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අතාවුල්ලා මහතා මෙසේද කීය.

“ඇමැති රිෂාඩ් බදියුදීන් මුස්ලිම් සමාජය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් පිටත් හඬ නඟන නිසාම ඔහුට මෙතරම් ප්‍රශ්න ඇති වූ බව ඔහුගේ ආධාරකරුවන් පවසනවා. එහෙනම්, කබීර් හසීම් වැනි තවත් මුස්ලිම් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයට ප්‍රශ්නයක් නැත්තේ ඇයි? රිෂාඩ්ගේ කතාවත් හරියට පූසා දෑස් පියාගෙන ලෝකයම කළුවර වුණා යැයි කියන්නා වගේයි.

විවාදවලදී ඔහු ඔහුවම පාවාදී අද අඬා වැලපෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අමාත්‍යාංශයෙන් ඉබ්‍රාහීම්ට පිත්තල දුන් ආකාරයට තවත් චෝදනා රැසක් එල්ලවෙනවා. එවන් චෝදනා හමුවේ තමන් සුපිරිසිදුයි නම් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.

ඔහුගේ අමාත්‍යාංශය මුස්ලිම් සමාජයට වැදගත් අමාත්‍යාංශයක් ද නැතහොත් දේශපාලන අනාථයන්ට ලේකම් තනතුරු පිරිනැමීමට හා බිස්නස් කිරීම සඳහා පමණක්ම පිහිට වූ අමාත්‍යාංශයක් ද යන ප්‍රශ්නය මතුවෙනවා. පසුගිය කාලයේ ඔහුගේ අමාත්‍යාංශයේ එක් අංශයක නීතිවිරෝධී ජාවාරම් සිදුවුණා.

මේ අමාත්‍යාංශයම ඉල්ලන්නේ ඇයි කියා වරක් මා ඔහුගෙන් විමසුවා. ඔබගේ ප්‍රදේශවල ජනතාව යටිතල පහසුකම් නොමැතිව දුක්විඳිනවා. ඒ අවශ්‍යතා ඉටුකළ හැකි අමාත්‍යාංශයක් ලබා නොගත්තේ ඇයි? ඒ නිසා තමයි ඔබට හොරබඩු ජාවාරම් කරන බවට චෝදනා කරන්නේ යැයි ද මම කියා සිටියා.

අද ඔහුවත් හඳුන්වන්නේ ත්‍රස්තවාදියෙක් විදියටයි. ඔබව අල්ලාහ් දෙවියන්ම රකිත්වා. සියල්ල සිදුකර මුස්ලිම් ජන සමාජය අතරේ සැඟවෙන්න එපා යැයි මම රිෂාඩ්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ආතාවුල්ලා මහතා පැවසීය.

ලංකාදීප

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස