බෞද්ධ රාජ්‍යයක් ගොඩනැඟිය හැක්කේ කෙසේද? – මහාචාර්ය කපිල අභයවංශ

July 9, 2019 at 8:00 am | by emanisa.lk

බුදුදහමේ ප‍්‍රමුඛත්වය ව්‍යවස්ථාපිතව තහවුරු වී ඇති ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ රටක් වීමට නම් බෞද්ධ රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක විය යුතුය. නීතියේ ආධිපත්‍යය හෙවත් යුක්ති ධර්මය ක්‍රියාත්මක වීම ඒ අතරින් ප‍්‍රධානය.

ශ්‍රී ලංකා ජනරජය බුදුදහමට ප‍්‍රමුඛත්වය ලබා දෙන බවත් ඒ අනුව සියලූ ආගම්වල අයිතිය සහතික කරමින් බුදුසසුන පෝෂණය කිරීම හා ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීම වන බවත් ජනරජ ව්‍යවස්ථාවෙන් ශපථ කෙරෙයි. බුදුදහමට මෙබඳු ප‍්‍රමුඛත්වයක් ව්‍යවස්ථාවෙන් ම පිරිනැමීමෙන් හැඟී යන්නේ කිමෙක් ද? රටෙහි වෙසෙන බෞද්ධ ජනතාවට රටෙහි ඇති අයිතියේ ප‍්‍රමුඛත්වය බවට සැකයක් නැත. බෞද්ධ ජනතාවක් නොමැති තැන බුදුදහමක් හෝ බුදුසසුනක් නොපවතින බැවින් බුදුදහමට ප‍්‍රමුඛත්වය දීම යනු බෞද්ධ ජනතාවගේ ප‍්‍රමුඛත්වය පිළිගැනීමකි.. එසේ නම් ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ රටක් නොවේ යැයි කවරකු හෝ පවසන්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී ප‍්‍රකාශයක් නොවන්නේ ද?

බුදුදහමට ව්‍යවස්ථාවෙන් ප‍්‍රමුඛත්වයක් හිමි කිරීමෙන් අනෙක් ආගම් රට තුළ පැවතීමේ අයිතිය ප‍්‍රතික්ෂේප වන්නේ නැත. ව්‍යවස්ථාවෙන් එම අයිතිය ද සුරක්ෂිත කොට තිබේ. එයින් අදහස් වන්නේ එම ආගම් අදහන්නවුන්ට ද තම ආගම් අදහමින් රටෙහි විසීමේ අයිතියක් පැවරී ඇති බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ අයිතිය බෞද්ධයන්ට පමණක් සින්නක්කරයකින් පැවැරීමට කිසිවකුට හැකියාවක් නැත. අනෙක් අතට රජයෙන් ම බුදුදහමේ ප‍්‍රමුඛත්වය පිළිගන්නා විට බුදුදහමේ මූලධර්ම රට තුළ වලංගු විය යුතුය. ජාති, කුල, ආගම් බේදවලින් තොරව සමාජ වරප‍්‍රසාද හා අයිතිවාසිකම් සමාජයේ සෑම සාමාජිකයකුට ම සමසේ භුක්ති විඳීම අර්ථ ගන්වන සමානාත්මතාව බුදුදහමින් ඉදිරිපත් වන වැදගත් මූලධර්මයකි. එය සමාජය තුළ තහවුරු කිරීමට බුදුන් වහන්සේ සෑහෙන උත්සාහයක් දරා ඇති බව ද පැහැදිළි කරුණකි.

අයිතිය පිළිබඳ බුදුදහමේ ස්ථාවරය හා අර්ථකථනය කුමක් දැයි විමසා බැලීම මෙහිදී වැදගත් වනු ඇත. යම් යම් දේ පිළිබඳ අයිතිය අරභයා මිනිසුන් අතර ඇති වන ආරවුල් හා ගැටුම් ලෝක සාමයට බලවත් ම බාධකය වී ඇති සැටි අපි දකිමු. ඉඩකඩම් ගේදොර ආදියේ සිට රට රාජ්‍යයන් දක්වා අයිතිය පිළිබඳ ප‍්‍රශ්න දුරදිග යෑමෙන් ලෝකය පුරා යුද ගිනිදැල් ඇවිල යන සැටි ද අපට පෙනේ. සාමකාමී පරිසරයක සතුටින් ජීවත්වීම කාගේත් අරමුණය. අරමුණ එසේ වුව ද මිනිසාගේ ක්‍රියාකාරිත්වය යොමු වී ඇත්තේ ඊට හාත්පසින් ම ප‍්‍රතිවිරුද්ධ දෙසට බව අයිතිය පිළිබඳ මිනිසුන්ගේ ආකල්පයෙන් පැහැදිළි වෙයි.

අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය ගැටුම්වලින් තොරව විසඳා ගැනීමට අවශ්‍ය දාර්ශනික මෙන්ම ප‍්‍රායෝගික මග පෙන්වීම් බුදුදහමින් කොතෙකුත් ඉදිරිපත් වී තිබේ. බුදුදහමට අනුව අපි කවුරුත් තාවකාලික ජීවිතයකට හිමිකරුවෝ වෙමු. අප මෙලොවට ආ තැනක් ද මෙලොවින් යන තැනක් ද නොදනිමු. මෙලොවට ගෙනා දෙයක් ද ගෙනයන දෙයක් ද නැත. අගමුල නොපෙනෙන සංසාර ගමනක යෙදී සිටින අපගේ තත්ත්වය තැනින් තැන යමින් තාවකාලික පදිංචියකට හිමිකම් කියන අහිගුණ්ඨිකයන්ට වඩා වෙනස් නොවේ. එසේ නම් ජීවත් වන කෙටි කලකට යමකට එය මගේ යැයි ඇලී සිටීමේ අර්ථය කිමෙක් ද?

අනෙක් අතට බුදුදහම පෙන්නුම් කර දෙන්නේ මම යන හැඟීම හැම අවුලකට ම හේතුව වන බවයි. මම යන සංකල්පයෙන් මිනිසා මුළාවට පත් නොවන්නේ නම් අයිතිය කීමට අවශ්‍ය වන මගේ යන හැඟීම ද ඇති නොවේ. මිනිසාගේ යථාර්ථය වටහා ගන්නකුට මම යනු හුදු ව්‍යවහාරයක් පමණි. එම ව්‍යවහාරය තුළ සැඟවී ඇත්තේ මොහොතින් මොහොත වෙනස් වෙමින් පවතින කි‍්‍රයාකාරිත්වයකි. මෙය සෑම මිනිසකු විසින් ම පසක් කරගත යුතු යථාර්ථයයි. මෙම යථාර්ථය මමය මගේය යන හැඟීම් මගින් යටත් කරගෙන ඇති බැවින් අප නිතර ම කි‍්‍රයාත්මක වන්නේ මමය මගේය යන ආත්මාර්ථකාමිත්වයෙනි. මෙය වටහා ගත් විට හිමිකාරිත්වයේ නිසරු බව අපට හැඟී යනු ඇත. මේ තත්ත්වය යටතේ තමාට තමාවත් නැති කොට වෙනත් දෙයක අයිතියක් කෙසේ නම් පවතීද? මෙහිලා බුදුන් වහන්සේ කරන ප‍්‍රකාශය කෙතරම් අර්ථවත් දැයි කෙනෙකුට වටහා ගත හැකිය. උන්වහන්සේ මෙසේ පවසති.

පුත්තාමත්ථි ධනංමත්ථි ඉති බාලො විහඤ්ඤති
අත්තාපි අත්තනො නත්ථි කුතො පුත්තා කුතො ධනං

(අනුවණ තැනැත්තා තමාට පුතුන් ඇතැයි ද ධනය ඇතැයි ද ඒ මත්තේ නැහෙයි. තමාට තමාවත් නැති කොට පුත්තු කොයින් ද ධනය කොයින් ද?)

සාමාන්‍ය මිනිසා යථාර්ථය වටහා ගන්නා තුරු ඔහු ව්‍යවහාරික ලෝකයේ ජීවත් විය යුතු යැයි ද එතෙක් ඔහු අයිතිවාසිකම් මැද ජීවිතය ගෙන යායුතු යැයි ද කෙනෙකුට තර්ක කළ හැකිය. ව්‍යවහාරික අර්ථයෙන් පුද්ගලයන්ගේ පැවැත්ම බුදුදහම ද පිළිගනියි. එබැවින් යථාර්ථයට අනුකූලව පුද්ගලත්වය පවත්වා ගතයුතු ආකාරය ද බුදුදහමින් පෙන්වා දී ඇත. තමාට සමානත්වයෙන් අනුන් දෙස බැලිය යුතු යැයි බුදුදහම උපදෙස් දී ඇත්තේ එබැවිනි. අප යථාර්ථය වටහාගත යුතු වන්නේ පුද්ගලත්වය දුකින් තොරව සුවපත්ව පවත්වාගනු සඳහායි. අයිතිය යන්න තුළ ඇත්තේ ඇලී බැඳී පැවතීමකි. ඇලීම බැඳීම විවිධ විපත්තිවලට හේතුවයි. මෙම ව්‍යවහාරික සත්‍යය තේරුම් ගත නොහැකි කිසිවෙක් නැත.

දුක් කරදර උපදවන ඇලීම් බැඳීම්වලින් තොරව අයිතිය තුළ හිර නොවී භුක්ති විඳීමේ ක‍්‍රමය ද බුදුදහමින් පෙන්වා දී තිබේ. ඒ් වූ කලී දැඩි ග‍්‍රහණයෙන් තොරව භුක්තිවිඳීමයි. අප අයිති කරගැනීමට වෙර දරන වස්තූන් තුළ ඇත්තේ උපයෝගිතාත්මක වටිනාකමකි. ශ‍්‍රී ලංකාව යනු භූමියකි. එය පවතින්නේ එහි ජීවත් වන මිනිසුන්ගේ හා වෙනත් සතුන්ගේ පදිංචිය හා එයින් ලබා ගත හැකි වෙනත් ප‍්‍රයෝජන භුක්ති විඳීම සඳහාය. ඒ් හැර එය අපේ යැයි හංවඩු ගසා ගැනීමේ ඇති අරුත කිමෙක් ද? එය ඇත්තට ම හිස් ආත්ම වින්දනයකින් ආඩම්බර වීම හැර වෙන කිමෙක් ද? ඔරුවකින් ගෙඟන් එතෙර වූ පසු ඔරුව කරගහගෙන යෑමට සැරසෙන්නෝ පිස්සෝය. තමා බෙහෙවින් සුදුෂ්කර ලෙසින් සොයා ගත් මාහැඟි ධර්මය පවා පහුුරකට (ඔරුවකට) උපමා කොට දැක්වූ ශාස්තෘවරයකු ගුරු කොට ගන්නා බෞද්ධයන්ට අයිතියේ ඇති හිස්බව නොතේරෙණු නොහැකිය.

බුදුදහමින් පෙන්වා දෙන යථාර්ථයට අනුකූල අයිතියේ තත්ත්වය පසෙකට දමා ව්‍යවහාරික අර්ථයෙන් අයිතිය පිළිගත්තත් ශ්‍රී ලංකාව බෞද්ධයන්ට අයිති රටකැයි උදම් ඇනිය හැකිද? මෙහිදී අප විමසා බැලිය යුත්තේ ශ්‍රී ලංකාවෙහි බෞද්ධ නමින් පෙනී සිටින්නන් අතර කොපමණ සංඛ්‍යාවක් බෞද්ධයෝ සිටිත් ද යන්නයි. බෞද්ධයන් බහුතර සංඛ්‍යාවක් සිටී නම් ව්‍යවස්ථාවෙන් පිරිනමා ඇති ප‍්‍රමුඛ උරුමය බෞද්ධයන්ට හිමි වෙයි. මෙහිදී රාජ්‍ය පාලකයන්ගේ බෞද්ධකම විමසීම පළමුව කළ යුත්තකි. ජනතාවගේ පාලකයන් ඔවුන් වන බැවිනි. බොහෝ කලක සිට රාජ්‍ය නායකත්වයට පත්වන බෞද්ධ යැයි කියා ගන්නා අපේ දේශපාලකයන් බුදුදහමට නිගා දෙන්නන් බවට අටුවා ටීකා අනවශ්‍යය.

තෙරුවන් සරණ ගොස් පන්සිල් රැකීම බෞද්ධයකුගේ මූලික ලක්ෂණය වෙයි. ඒ අර්ථයෙන් අපේ දේශපාලන නායකයන්ට බෞද්ධ යැයි අවංකව පැවසිය හැකිද? මෑත ලාංකික දේශපාලනයේ තමන්ගේ පෞද්ගලික විරුද්ධවාදීන් ඝාතනය කරවීමට ඔවුනට හිංසා පීඩා කරවීමට ඔවුන්ගෙන් පලිගැනීමට නොපෙළඹුණු රාජ්‍ය පාලකයෝ කී දෙනෙක් අපට සිටිත්ද? රාජ්‍ය දේපළ සොරකම් නොකළ හා ඒවා අයථා පරිහරණය නොකළ බවට ශපථ කළ හැකි රාජ්‍ය නායකයෝ වෙත්ද? බොරු පොරොන්දු දී ඒ්වා ඉටු නොකොට ජනතාව රැවටූ රාජ්‍ය නායකයෝ අපට නැද්ද? චේතිය පරදන බොරු දෙසා බාමින් බොරු උපාසක වෙස් ගත් උපාසක චණ්ඩාලයන්ගෙන් අපේ දේශපාලනය නොකිළිටි වී ඇත්ද? රාජ්‍ය ආරක්ෂාව බල්ලට දමා රාජ්‍ය වගකීම් පැහැර හරිමින් ජනතාව අනතුරේ දමා ආත්ම සුඛවින්දනයෙහි යෙදෙන අපේ දේශපාලකයන් නිසා මුළු රට ම අගාධයක නොපවතී යැයි අපට උදම් විය හැකිද?

බුදුදහමේ ප‍්‍රමුඛත්වය ව්‍යවස්ථාපිතව තහවුරු වී ඇති ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ රටක් වීමට නම් බෞද්ධ රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක විය යුතුය. නීතියේ ආධිපත්‍යය හෙවත් යුක්ති ධර්මය කි‍්‍රයාත්මක වීම ඒ අතරින් ප‍්‍රධානය. බුදුදහමෙහි යුක්ති ධර්මය හැඳින්වෙන්නේ ධම්ම යන නමිනි. බුදුදහම යුක්ති ධර්මයට දෙන්නේ අතිශයින් ම ප‍්‍රමුඛස්ථානයකි. බෞද්ධ රාජ්‍ය ප‍්‍රතිපත්තියෙහි පිහිටන රාජ්‍ය නායකයා යුක්ති ධර්මය ඇසුරු කරන්නකු එයට ගරුබුහුමන් දක්වන්නකු එය ධජය කරගත්තකු හා එහි ආධිපත්‍යය පිළිගත්තකු වශයෙන් කි‍්‍රයා කළ යුතු බව දැක්වෙයි. එහෙත් අපේ රාජ්‍ය නායකයෝ කෙතෙක් නම් නීතිය හෙවත් යුක්ති ධර්මය මත පිහිටා සිටිත්ද?

යුක්තිධර්මය කි‍්‍රයාත්මක වන්නේ අපක්ෂපාතී වීම හෙවත් අගතිගාමී නොවීම තුළිනි. අගතිගාමී නොවීම යනු ධර්මයෙහි පිහිටීම බව සිඟාලෝවාද සූත‍්‍රයෙන් පෙන්නුම් කොට ඇත. රාජ්‍ය පාලනයෙහි ප‍්‍රමුඛ මූලධර්මය වන අපක්ෂපාතී වීම නැතහොත් යුක්තිගරුක වීම ශ්‍රී ලාංකීය දේශපාලකයන්ට වහකදුරු බවට පත්ව තිබේ. රාජ්‍ය සම්පත් තම හිතමිතුරන් අතරේ බෙදාහදා ගැනීමත් මොන තරම් දරුණු වරදකදී වුවද හිතමිතුරන් මුදා හැර සාමාන්‍ය මිනිසාට පමණක් නීතිය කි‍්‍රයාත්මක කරවීමත් ශ්‍රී ලංකාවෙහි රාජ්‍ය ප‍්‍රතිපත්තිය වී ඇති බව අතැඹුලක් සේ ප‍්‍රකට කරුණකි. එසේ නම් ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ විය හැකිද?

බෞද්ධ යැයි කියා ගන්නා ශ්‍රී ලාංකික ජනතාවගේ මාර්ගෝපදේශකයන් ලෙස පෙනී සිටින භික්ෂූන් වහන්සේගේ වර්තමාන තත්ත්වය විමසා බැලීම ද මෙහිදී වැදගත් වෙයි. තමන් නියම භික්ෂුවක්ද නැද්දැයි එක් එක් භික්ෂුවක් විසින් තමන්ගේ ම හෘදය සාක්ෂියෙන් විමසා දැන ගත යුත්තක් වන බැවින් මෙහි ලා අප සඳහන් කරන්නේ සමාජ භාවිතය පමණි. බෞද්ධරාජ්‍යයක ප‍්‍රමුඛ ලක්ෂණයක් වන්නේ සාමය හා සමගියයි. අපට ඇත්තේ විවිධ නිකායවලට. දේශපාලන පක්ෂවලට හා මතවාදවලට කැඞී බිඳී විසිරී ගිය භික්ෂු පිරිසකි. වාසි හා ලාභ තකා තමන් පුම්බා ගැනීමට වෙර දරන්නෝ ඒ් අතර බහුලය. ධර්මය විකෘති කරමින් අධර්මය උද්දීපනය කරන්නෝ ද වෙති.

බුදුන් දෙසූ ප‍්‍රතිපත්තියට වඩා උන්වහන්සේ ප‍්‍රතික්ෂේප කළ එහෙත් බමුණු පූජකයන් අගය කළ පුදපූජා සංස්කෘතිය කර තබා ගත්තෝ ද බොහෝය. දේශපාලන නායකයන් පැහැදිළිවම ධාර්මිකත්වයෙන් ඉවත් ව හොරුන් දූෂකයන් බවට පත්ව රට අගාධයට ගෙන යන්නන් බව දැන දැන ම ඔවුන් පසුපස යමින් වන්දිභට්ටකම් කරන්නෝ ද ආවඩන්නෝ ද වෙති. ආමිෂයට හා යසසට ගිජුව තමන් නොරහත්ව සිටියදී රහත් යැයි කියමින් ජනතාව රවටන්නෝ ද වෙති. ජාතියේ මුරදේවතාවන් බවට පත්වන භික්ෂූන් වහන්සේ ධර්මයේත් ශාසනයේත් ආරක්ෂාව තමන් අතින් සිදු නොවෙතැයි සිතාදෝ එය දෙවි දේවතාවන්ට භාර කරති.සසුන රැක ගැනීමටයයි පවසමින් පැවිදි කරගන්නවුන්ට නිසි ආරාමික ශික්ෂණයක් නොදී ඔවුන් පෙළපාලිවල යවා සිවුර කැසපට කවා ගෙන ඩෙඟා නටන හැටි නරඹමින් උදමි අනන්නෝ ද වෙති.මෙසේ ධර්මය නගා තැබිය යුත්තවුන් අධර්ම මාර්ගයට යොමු වනවිට රටක් බෞද්ධ රටකැයි උදම් ඇනිය හැකිද?

රටේ වෙසෙන බහුතර ජනතාව තමන් බෞද්ධයයි පවසති. ඒ පරම්පරාවෙන් බුද්ධාගම උරුම වී ඇති බැවිනි. එහෙත් බෞද්ධකමින් බෞද්ධ වූවන් කොතරම් සංඛ්‍යාවක් රටේ බහුතර ජනතාව අතර සිටීද? තමන් පමණක් ම යන ආත්මාර්ථය හැර අන් අයට හෙණ ගැහුවත් කමක් නැත යන ආකල්පය සමාජය තුළ පැතිර යන්නේ විදුලිය වේගයෙනි. අන් අයට ජීවිත හා දේපළ පවත්වා ගැනීමට ඇති අයිතියට ගරු කිරීමක් අප අතර තිබේ ද? යමක් සාමකාමීව විසඳා ගැනීමට බුදුදහමින් මග පෙන්වීම් ලබා දී තිබියදී ඒවා ගැන තැකීමක් නැතිව ආවේගශීලීව හැසිරෙමින් සමාජ සාමය කඩාකප්පල් කොට විනෝද වීමට තැත් කරන්නෝ ද බහුලය. පොළොවේ පස් කැටයට හෙරළිි ගෙඩියට මිනීමරා ගන්නා සමාජ පසුබිමෙක වෙසෙන අපට මෙය බුදුන්ගේ දේශය යැයි විළිබිය නැතිව පැවසීමට හැකියාවක් තිබේ ද?

මෛති‍්‍රය, කරුණාව, මුදිතාව, සමානාත්මතාව, අවංක බව, සහනශීලිත්වය, සමාදානය හා කෘතඥතාව වැනි මානව ගුණධර්ම නැති මිනිසා තුළ බෞද්ධකම පිහිටා නැත. මේ සියලූ ගුණධර්ම බෞද්ධ පංචශීල ප‍්‍රතිපත්තියෙහි ගැබ් වී තිබේ. පන්සිල් සමාදන්වීම තමා තමන්ට ම දෙන පොරොන්දුවකි. පන්සිල් සමාදන් නොවන බෞද්ධයෙක් ලංකාවෙහි ඇත්තේම නැත. එහෙත් අවංකව පන්සිල් රකින්නෝ කෙතරම් ද? තමන්ට තමන් කරගන්නා පොරොන්දුව කඩකරන තැනැත්තෙකු අනුන්ට දෙන පොරොන්දු ඉටු කරතැයි සිතිය හැකිද? අනුන් හා පවත්වන හැම සම්බන්ධයකදීම බෞද්ධයාගේ මනස තුළ කි‍්‍රයාත්මක වන නියාමක බලවේගය විය යුත්තේ සියලූ සත්වයෝ සුවපත් වෙත්වා යන ආකල්පයයි.

රටක් බෞද්ධයන්ගේ යැයි කියමින් පුහු මානයක් ඇති කරගනුවට වඩා වැදගත් වන්නේ අපි බෞද්ධයෝ වෙමුයි කීමට හැකියාව ඇති කර ගැනීමයි. එවිට රටක් පමණක් නොව මුළු ලෝකය ම අපේ යැයි කීමට හැකි වනු ඇත.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස