රට ම නියෝජනය කරන උත්තරීතර පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ඇමතිවරයෙකු සිටිය දී පළාත් සභා සඳහා තවත් අධ්‍යාපන ඇමතිවරුන් 09 දෙනෙකු පත්කර මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයි දැයි යුතුකම ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විමසයි.
ඒ පසුගිය 24 වන දින පාර්ලිමේන්තුවේ දී මුදල් කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදයට එකතු වෙමිනි.
“අද දින සාකච්ඡාවට බඳුන් වන්නේ මුදල් කොමිෂන් සභාවේ වාර්තා යි. 1987 ඉන්දියානු බලහත්කාරය මතින් ගෙන ආ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මඟිනුයි මුදල් කොමිසම පිහිටුවනු ලැබුවේ. මුදල් කොමිසමේ කාර්යභාරය වන්නේ පළාත් සභා සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමයි.
2015 වසරේ පළාත් සභා සඳහා දරා ඇති වියදම රු. බිලයන 198.01ක්. 2016 වසරේ රු. බිලියන 195.01ක්. මේ වන විට පළාත් සභා සඳහා වියදම රු. බිලියන 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජයේ මුළු වියදමේ ප්‍රතිශතයක් විදිහට පළාත් සභා වියදම 2015 දී 8.65%ක්. 2016 දී 8.36%ක්. පළාත් සභා වියදම රටේ සමස්ත රාජ්‍ය වියදමින් 8.5%ක පමණ සාමාන්‍ය අගයක පවතිනවා.
අද මහජන නියෝජිතයන් වෙනුවෙන් දරන වියදම පිළිබඳ සමාජයේ විශාල විවේචනයක් තිබෙනවා. මේ උත්තරීතර සභාවේ අධ්‍යාපන ඇමතිවරයකු සිටිය දී අපි ජනතා බදු මුදලින් පළාත් සභාවල තවත් අධ්‍යාපන ඇමතිවරුන් 09 දෙනෙක් නඩත්තු කරනවා.
මේ ගරු සභාව මුළු රට ම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225කින් සමන්විත වෙද්දී පළාත් සභාවල අපි තවත් මහජන නියෝජිතයන් 455ක් මහජන බදු මුදලින් නඩත්තු කරනවා.
බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය ආදි පක්ෂ එකතුව මැතිවරණ නොපවත්වා පළාත් සභා අක්‍රීය කළා.
එ වැනි මොහොතක පළාත් සභා මැතිවරණ පිළිබඳ තීරණය කිරීමට පෙර මේ රටේ සුවහසක් ජනතාව බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාව ගෙන ආ යුතු යි.
පළාත් සභා සක්‍රීයව තිබුණේ නම් කොවීඩ් -19 පාලනය කිරීම වඩා දුෂ්කර කාර්යයක් විය හැකි ව තිබූ බව ජනාධිපතිතුමා පහුගිය දා ප්‍රකාශ කළා.
පළාත් සභා බෙදීම් පැවතියේ නම් කොරෝනා වසංගතය මර්දනයට එක රජයක්, එක රාජ්‍ය යාන්ත්‍රණයක් එක වෛද්‍ය සේවයක් සහ බුද්ධි අංශ ඇතුළු ත්‍රිවිද හමුදාවක් ලෙස යොදා ගැනීම කිරීමේ හැකියාවක් නැහැ.
උතුරු පළාතේ කොරෝනා වසංගතය බෝ වුණා නම් එහි දී පළාත් සභා සීමා මායිම් කොරෝනා මර්දන යාන්ත්‍රණයට බාධාවක් වෙන්න ඉඩ තිබුණා.
එහෙත් ඒ සීමා කිසිසේත් කොරෝනා වෛරසයට බාධාවක් වෙන්නේ නෑ. මේ කුඩා දූපත සමස්ත ජනතාවට සෙත සැලසීම උදෙසා පාලනය කිරීමේ දී ඒකීය රාජ්‍ය ව්‍යුහය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඒකීය රාජ්‍ය ව්‍යුහය අපි ශක්තිමත් කර ආරක්ෂා කරගත යුතු යි.
අපි මේ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ගැන බොහෝ විට කතා පවත්වනවා.
ඒවාට ඇහුන්කන් දෙනවා. මේ උත්තරීතර සභාවේ පනතක් සාමාන්‍ය බහුතරයකින් සම්මත කරන්න පුළුවන්. ඒත් පළාත් සභාවක ප්‍රඥාප්තියක් රටේ පොදු නීතියට යටත් කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයක් වුවමනා වෙනවා. යථාර්ථය එය නම් මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව කුමක් ද කියලා අපි සිතා බැලිය යුතු යි.
පසුගිය ජනාධිපතිවරණයේ දීත් මහා මැතිවරණයේ දීත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ එක රටකට එක නීතියක් කියන ප්‍රතිපත්තිය මේ රටේ පොදු මහ ජනතාව ඉහළින් ම අනුමත කළා.
එ වැනි පසුබිමක මේ උත්තරීතර සභාවට අමතර ව මේ රටේ නීති සම්පාදනයට තවත් ආයතන 09ක් පවත්වාගෙන යෑම, එක රටක එක නීතියක් කියන ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් නොවේ ද?
ඒ වගේ ම 13 වැනි සංශෝධනය තවත් ඉදිරියට ගෙන යමින් බලාත්මක කර ඇති 16 වැනි සංශෝධනය ඔස්සේ උතුරු හා නැඟෙනහිර පළාත්වල සිංහල භාෂාව භාවිතයට බාධා පමුණුවා තිබෙනවා.
එ වැනි පසුබිමක එක රටක එක නීතියක් ප්‍රතිපත්තිය මේ මහ පොළොවේ යථාර්ථයක් වීමේ හැකියාවක් නෑ.
ගරු ජනාධිපතිතුමා පසුගිය නිදහස් දිනයේ දී ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බව අවධාරණය කළා. එහි දී එතුමා මුළු රට පුරා ආදායම් ඉපයීමේ හැකියාව වගේ ම, අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් සමාන ලෙස බෙදී නොයෑම ගැන සිය කනගාටුව ප්‍රකාශ කළා.
පළාත් සභා විදිහට වෙන් වෙන්ව මේ කාරණාවලට විසඳුම් සොයන්න යෑම නිසා සමස්ත ජනතාව එක ම රටක ජනතාවක් හැටියට ඉහළට ඔසවා තැබීමේ ජනාධිපතිතුමා ගේ බලාපොරොත්තුවට විශාල තර්ජනයක්, අනර්ථයක් සිද්ධ වෙනවා.
මේ රටේ ජනතාව කොරෝනා වංසගතය තිබිය දීත් පෙර නුවූ විරූ ලෙස ඡන්දපොළට ගිහින් ඡන්දය ප්‍රකාශ කළේ පසුගිය අවුරුදු 40 පුරා මේ රට ගමන් කළ දිශානතිය වෙනස් කර නව ගමනක් ආරම්භ කිරීමට යි. ඒ සඳහා නව ව්‍යවස්ථාවක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. එහි දී මේ පළාත් සභා ක්‍රමය තුළ ඇති අනර්ථකාරීභාවය පිළිබඳ අපේ රජය තීන්දුවක් ගතයුතු බව අපි දැඩිව විශ්වාස කරනවා.”
සටහන:
නාමල් උඩලමත්ත