පළාත් සභා ඉන්දියාව බලහත්කාරයෙන් දුන්නා තමයි! නමුත් අහෝසි කරනවට විරුද්ධයි! – ප්‍රසන්න

September 20, 2020 at 1:49 pm | by emanisa.lk

පළාත් සභා අහෝසි කිරීමට හිටපු මහ ඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පලාත් සභා ක්‍රමයේ කිසියම් ගැටළු ඇත්නම් ඒවා නිවැරදි කර පළාත් සභා ක්‍රමය රට තුල පවත්වාගෙන යා යුතු බවයි.

කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වූ ඇමතිවරයා උත්සව සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට හඳුන්වා දුන් පලාත් සභා ක්‍රමය ඉන්දියාව බලහත්කාරයෙන් ඇටවූවක් බවත් උතුරු නැගෙනහිර පැවැති ප්‍රශ්නයට පිළියමක් ලෙස හඳුන්වා දුන් බවත් පිළිගත හැකි වුවද  පරිපාලන බලය බෙදීම සඳහා හඳුන්වා දුන් පලාත් සභා ක්‍රමය අහෝසි නොකළ යුතුය යන්න සිය ස්ථාවරය බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

පළාත් සභාව සුදු අලියෙක් බවට චෝදනාව නැඟුනේ ඇතැම් කාලවල වැඩ නොකරන පුද්ගලයන් මුල් පුටුවල සිටීම නිසා බවත් වැඩ කළ හැකි දක්ෂයෙකුට පළාත් සභාව හරහා රටට වැඩක් කල හැකි බවත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග පළාත් සභාවේ වැඩිම මුදලක් වෙන්වන්නේ පඩිනඩි ගෙවීම සඳහා බවයි. පළාත් සභා ක්‍රමය අහෝසි වුවද එම නිලධාරියා රාජ්‍ය සේවයට ඇතුළත් වන නිසා එම වියදම දැරීමට රජ්‍යට සිදුවන බවද පෙන්වා දෙයි.

මේ නිසා පළාත් සභා යන වචනයට කිසිවෙකු අකමැති නම් එය සංශෝධනය කිරිමේ ගැටළුවක් නැතැත් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් ඊට ගැළපෙන වෙනත් විකල්පයක් හඳන්වා දියයුතු බව සිය පෞද්ගලික මතය යැයිද ඇමතිවරයා කිවේය.

– ප්‍රදීප් අනුර කුමාර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස