ගාල්ලේ පදිංචි Brandix සේවකයන් 04කට කොරෝනා! පොදු ප්‍රවාහන සේවා භාවිත කරලා දාන ගෙවල්වල ගිහින්! ගාල්ල දිස්ත්‍රික්කයේ අහඹු PCR පරීක්ෂණ ඇරඹෙයි!

October 7, 2020 at 2:31 pm | by emanisa.lk

ගාල්ලේ පදිංචිව සිටි දිවුලපිටිය කර්මාන්තශාලා සේවක සේවිකාවන් කිහිප දෙනකු කොවිඩ් – 19 ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් ගාල්ලේ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න (07) පවසයි.

ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු මේ වන විට කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත.

ඒ අතරින් බටපොළ පදිංචිකරුවා පොදු ප්‍ර‍වාහන සේවා කිහිපයක් ම භාවිත කර ඇති බැවින් ඔහු ගමන්ගත් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර තිබේ.

බටපොළ පදිංචි ආසාදිත තැනැත්තා අධිවේගී මාර්ග බස් රථය ඇතුළු තවත් බස් රථ කිහියක ගමන් කර ඇති බවත් එම බස් රථ හඳුනාගැනීමට බුද්ධි අංශ සමග කටයුතු කරන බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

අහංගම පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (06) කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇති අතර මෙම කාන්තාව නිවස ආසන්නයේ පැවැති දානමය පිංකමකට සහභාගී වී ඇති බව වාර්ථා වේ.

එම දානමය පිංකමට කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ‍ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් හය දෙනකු ද සහභාගී වී ඉන් පසු සේවයට වාර්තා කර ඇත. එම හය දෙනා පිළිබඳ තොරතුරු ලැබුණු වහා ම ඔවුන් නිවෙස්වලට යැවීමට අදාළ ඇඟළුම් ආයතනයේ පරිපාලනය කටයුතු කර තිබේ.

දානමය පිංකමට සහභාගී වූ පුද්ගලයන් මේ වන විට සමාජය තුළ සැරිසරා ඇති බැවින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අද (07) ආරම්භ කරන බව ද වෛද්‍ය සමරරත්න පවසයි.

ඇල්පිටියේ පදිංචි කොරෝනා ආසාදිත බව තහවුරුකර ගත් කාන්තාවගේ දරුවකු මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එම දරුවා අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති සඳහා සහභාගී වී ඇති බවත් අනාවරණය වී තිබේ. එම දරුවාගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (07) සවස ලැබීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස