ව්‍යස්ථාවේ පිටපතක් සුමන්දිරන් ගෝඨාටත් දීලා! එකඟ වෙන්න පුළුවන් අකුරක්වත් නෑ කියලා ගෝඨා මහින්දට කියලා!

January 27, 2019 at 10:38 am | by admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ගෝඨාභය රාජපක්‍ෂ අතර හමුවක් පසුගිය සඳුදා පිටකෝට්ටේ පිහිටි වියත් මඟ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. වර්තමාන දේශපාලන තත්ත්වය සහ එළිය වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු මෙම රැස්වීමට පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න සමඟ සුදර්ශනි, ලන්සා, ඩුලිප්, සිසිර සහ ඉන්දික ද පළාත් සභා මන්ත්‍රිවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

පසුගිය දිනයක ප්‍රසන්න රණවීරගේ නිවෙසේ පැවැති දානමය පින්කමක් අතරතුර ගෝඨාභය සහ ප්‍රසන්න අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම හමුව සංවිධාන කෙරිණි. ගෝඨාභය එහිදී පිරිසට වියත් මඟ සහ එළිය වැඩසටහන්වල අරමුණු පැහැදිලි කළේය. එළිය වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථම හමුව මිනුවන්ගොඩදී පැවැත්වීමට අදහස් කෙරුණද ප්‍රසන්න නොමැති නිසා දිවුලපිටියේදී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි. ඒ පෙබරවාරි මස 23දාය.

‘ඕනෑම රටක දේශපාලනයට උගතුන්, බුද්ධිමතුන් සම්බන්ධ වෙන තරමට තමයි ඒ රටේ දියුණුව ඇති වෙන්නේ. අපේ රටේ විද්වතුන් දේශපාලනයට සම්බන්ධ කරන්න තමයි අපි වියත් මඟ හැදුවේ. ඒ විද්වතුන්, දේශපාලනඥයන් සමඟ සම්බන්ධ කරන්නයි අපි එළියට වැඩසටහන පටන් ගත්තේ. මේකට ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර තිබෙනවා’ ගෝඨාභය පැහැදිලි කළේය.

‘මම දේශපාලන පවුලකින් පැවැත එන කෙනෙක්. පුංචි කාලයේ ඉඳන් දේශපාලනය මට සමීප වුණත් මම දේශපාලනය කළේ නැහැ. මහින්ද අයියා වගේම චමල්, බැසිල් දේශපාලනය කළත් මම ඒවට සම්බන්ධ වුණේ නැහැ. හමුදාවේ ඉන්නකොට දේශපාලනය කරන්න බැහැ. ආරක්‍ෂක ලේකම් වෙලා ඉන්නකොටත් මම දේශපාලනය කළේ නැහැ. නමුත් මට ඒ ගැන අවබෝධයක් තිබෙනවා ගෝඨා කීවේය.

අනතුරුව පිරිසගේ කතාබහ යොමු කෙරුණේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙනි. එම ව්‍යවස්ථා යෝජනා මඟින් රටට සිදු කරන්නට යන විනාශය ගෝඨාභය මැනවින් කරුණු විග්‍රහ කළේය. ‘සුමන්තිරන් මටත් ව්‍යවස්ථා යෝජනාවේ කෙටුම්පතක් ගෙනත් දුන්නා. මම ඒක කියවලා බැලුවාම තේරුණේ මේ යෝජනා සම්පූර්ණයෙන්ම රටට අහිතකරයි කියලයි. ඒ යෝජනාවේ එකඟ වෙන්න පුළුවන් එකම අකුරක්වත් නැහැ. මම මහින්ද මහත්තයාවත් හම්බ වෙලා මේ ගැන කිව්වා. මම එතුමාගෙන් ඉල්ලා සිටියා මේ යෝජනාවට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙන්න කියලා’ පැහැදිලි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස