කොරෝනා වසංගතය ලෝකයෙන් ඉක්මනින් තුරන් වෙන්නේ නෑ! රටට එන සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන්න! – ජනපති

June 5, 2020 at 9:43 am | by emanisa.lk

විදේශ රටවල සිට පැමිණෙන්නන් පී.සී.ආර්. පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ජනාධිපතිවරයා පවසා තිබේ.

කොවිඩ්-19 මර්දන කාර්ය සාධක බළකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග ඊයේ (04) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත.

පී.සී.ආර්. ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. වසංගත දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය ක​ර ඇත.

විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකිරීමට හා එය රජයේ ඍජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදු කිරීමේ හැකියාව සොයා බැලීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස