විදෙස්ගත ලාංකිකයන් එම රටවලදීම PCR පරීක්ෂණවලට යොමු කළ යුතුයි! – GMOA

May 28, 2020 at 3:12 pm | by emanisa.lk

විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් තව දුරටත් මව්බිමට ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා නව ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මව්බිමට ගෙන්වා ගැනීමට පෙර ඔවුන් දැනට සිටින රටවලදීම PCR පරීක්ෂණයකට ලක් කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කළේය.

විදේශයන්හි සිට මව්බිමට ගෙන්වා ගැනෙන පිරිස් සමග ගැටෙන කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බව මෙහිදී ප‍්‍රකාශ විය.

විදේශ සබඳතා අමාත්‍යාංශයෙන් ලේකම් රවිනාථ ආරියසිංහ පැවසුවේ බොහෝ පිරිස් යළිත් මව්බිමට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නේ කොරෝනා වසංගතය නිසාම නොව මෙම වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමි වීම සහ ඇතිවී තිබෙන සෙසු අපහසුතා නිසා බවයි.

දැනට නැවත සිය රට පැමිණෙන්නට 35 000ක් අපේක්ෂා කළ ද එය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

මේ අතර විදෙස්ගතව සිට ලංකාවට පැමිණි ඇතැම් පිරිසක් කොරෝනා ආසාධිත බවට හඳුනාගැනුණත් ඔවුන්ගෙන් රටට තර්ජනයක් ඇති නොවන පරිදි වගකීමෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසයි. ඒ නිසා විදෙස්ගතව සිට මව්බිමට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයන් සම්බන්ධයෙන් බිය සැක ඇති කර ගත යුතු නොමැති බවයි ඇය අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස