මහින්දලාට 19 අහෝසි කරන්න දෙන්නේ නෑ!

March 1, 2019 at 6:41 am | by admin

දහනවවැනි සංශෝධනයට එරෙහිව ජනමතයක් ගොඩනැංවීමේ අසාර්ථක උත්සාහයක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය යෙදී සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

දහනවවැනි සංශෝධනය අහෝසි කරගෙන තනි පුද්ගලයකුට බලය ලබාගෙන තමන්ට රිසිසේ පොලිසිය, අධිකරණය ඇතුළු නීති අංශ පාලනය කිරීම මෙම අසාර්ථක උත්සාහයෙන් අපේක්ෂා කරන බවත් මන්ත්‍රී මුජිබර් රහුමාන් අවධාරණය කළේය.

නීතිපතිවරයා සහ අධිකරණයට පහර ගැසීමට මොවුන් පෙළඹී සිටින්නේ අන් කිසිවක් නිසා නොව වංචා දූෂණවල යෙදුන උදවියට නීතිපතිවරයා නඩු පැවරීම සහ අධිකරණය අදාළ නඩු විභාග කිරීම බවත් අවධාරණය කළ මන්ත්‍රීවරයා අදාළ වංචා දූෂණ පරීක්ෂණ සිදුකරන සමයේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යන අංශවලට මේ උදවිය ප්‍රහාර එල්ල කළ බවත් පැවසීය.

වර්තමානයේ එම ස්ථානවලට කිසිම ප්‍රහාරයක් එල්ල නොකර නිහඬ පිළිවෙතක මේ උදවිය සිටින්නේ අදාළ පරීක්ෂණ නිම වී තිබෙන නිසා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමනිසා එහි දෙවන පියවර යටතේ නීතිපතිවරයා සහ අධිකරණ විවේචනය කරමින් ප්‍රහාර එල්ල කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *