ඇඳිරි නීතියට කලින් කොරෝනා අරන් ගමට යන්න නම් එපා! – බස්නාහිර ජනතාවට හමුදාපති කියයි…

October 29, 2020 at 7:48 am | by emanisa.lk

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන්නේ තාවකාලිකව බැවින් ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටතට යෑමට උත්සහ නොකරන ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට එළඹෙන සඳුදා උදැසන 5.00 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ඊයේ (28) තීරණය කෙරුණි.

සඳුදා උදෑසන 5.00 ට ඇඳිරිනීතිය ඉවත් කළ ද දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට අඛණ්ඩව නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ ජනතාව වෙනත් ප්‍රදේශවලට යෑමෙන් කොරෝනා වෛරසය පැතිර යාමට ඉඩ ඇති බැවින් එසේ නොකරන ලෙස ය.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේදී අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවල නිරතවන පිරිස් හැරුණු විට වෙනත් කිසිදු අයෙකුට බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ පිටවීමට අවසරහිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ලෙස නම්කර ඇත්තේ ජලය, විදුලිය, සන්නිවේදනය, මාධ්‍ය, සෞඛ්‍ය, ඖෂධ, වරාය, ගුවන් තොටුපළ ආදී කටයුතු බව ද ඔහු සඳහන් කළේ ය.

බස්නාහිර පළාතට ඇතුළු වන සෑම ස්ථානයකම විශේෂ පොලිස් මාර්ග බාධක යෙදවීමට දැනටමත් කටයුතු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

ඊට අධිවේගී මාර්ගයද ඇතුළත් බව වැඩිදුරටත් සඳහන් කෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස