ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්! සියලු දෙනා ඒ සංස්කෘතියට අනුගත විය යුතුයි! ආගම මුල් කරගත් පාසල් උවමනා නෑ! – ලෝක මුස්ලිම් සංගමයේ මහ ලේකම්

August 3, 2019 at 9:32 am | by emanisa.lk

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් සෙසු ආගමිකයන් සහ ජාතීන් ජීවත් විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව බවත් ලෝක මුස්ලිම් සංගමයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉස පවසයි.

හෙතෙම මේ බැව් පැවසුවේ (01) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමිනි. ඉකුත් 30 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැති සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට පැමිණි ඒ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව යෑමට පෙර මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අබ්දූල් කරීම් අල්ඉසා ආගම් මූලික කරගත් පාසල් කිසිදු රටකට අවශ්‍ය නැති බවත් පාසලකින් ලබාදිය යුත්තේ සියයට අනූවක් ප‍්‍රායෝගික අධ්‍යාපනය සහ සියයට දහයක් විෂය දැනුම බවත් ඔහු සඳහන් කළේය.

වත්මන් තරුණ පරපුරට ඉවසීම, අන් අයට ගරු කිරීම පිළිබඳව පාසල තුළින් අධ්‍යාපනය ලබාදිය යුතු අතර කිසිදු ආගමක් තවත් ආගමක් යටපත් කරගෙන නැඟී සිටීම නොව සියලු ආගම්වලට ගරු කරමින් සහජීවනයෙන් ජීවත් වීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතු බවත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ සුබ සාධනය සඳහා ලෝක මුස්ලිම් සංගමය මගින් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ පනහක් ලබාදෙන බවත් එය ශ්‍රී ලංකා රජයේ අධීක්‍ෂණය මත බස්නාහිර ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා යටතට පත්කරන බවත් අබදූල් කරීම් අල්ඉසා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස