රටට බරක් වූ පළාත් සභා ඉබේම අහෝසි වන ලකුණු! ගම්සභා ප්‍රාදේශීය සභා ශක්තිමත් කර රට නැඟීමට අවස්ථාවක්!

September 3, 2019 at 9:29 am | by emanisa.lk

පළාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති නීති යටතේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් දැන් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දීමත් සමග පළාත් සභා ඉබේම අහෝසි වන තත්ත්වයක් උදා වී තිබේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ස්ථාපිත කළේ උතුරු නැඟෙනහිර පැවති බව කී දෙමළ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමටය.
ඒ අනුව 1987 රටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්න ද ආරම්භයේ සිටම උතුරු නැඟෙනහිර පළාත් සභාව ක්‍රියාත්මක වූයේ නැත. එහෙයින් පළාත් සභා පිහිටුවීමේ අරමුණ ආරම්භයේ දීම බිඳ වැටිණි.

කෙසේ වුවද පළාත් සභා නො ඉල්ලු සෙසු පළාත්වල පළාත් සභා ක්‍රියාත්මක විය. මෙම පළාත් සභා ස්ථාපිත වූයේ එතෙක් ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා යන පළාත් පාලන ආයතන ව්‍යුහය පවතින අතරය. එහිදී සිදු වූයේ එතෙක් මධ්‍යම ආණ්ඩුව සහ එම පළාත් පාලන ආයතන සිදුකළ පරිපාලන කටයුතුවලින් කොටසක් පළාත් සභා වෙත පවරා දීමය.

මේ නිසා රාජ්‍ය වියදම් අනවශ්‍ය ලෙස ඉහළ යාම රට තුළ අනවශ්‍ය බෙදීම් ඇති වීම හැර කිසිවක් නොවූ බවත් පළාත් සභා සුදු අලියකු බවත් බොහෝ දෙනාගේ අදහසය. මෙමගින් සිදු වූ එකම සේවය ජාතික දේශපාලනයේ යෙදෙන අයට සිය දෙවෙනි පරම්පරාව නඩත්තු කිරීම සඳහා රාජ්‍ය ව්‍යුහයක් ලැබීම පමණක් බව ජනතාවගේ අදහසය.

එහෙයින් පළාත් සභා අහෝසි කළ යුතු බවට පසුගිය කාලයේ විශාල ජනමතයක් නිර්මාණය වූ අතර ඒ සඳහා බෙදුම්වාදයට නැඹුරු කණ්ඩායම් එරෙහි වූයේ පළාත් සභා ඔස්සේ ජනතාවට විශාල සේවයක් වන බව පවසමිනි.

කෙසේ වුවද මේ වන විට ඌව පළාත් සභාව හැර උතුරු පළාත් සභාව, නැඟෙනහිර පළාත් සභාව ඇතුළු සියලු පළාත් සභා විසිර ගොස් බොහෝ කාලයකි. පළාත් සභා ඡන්ද පවත්වා ඒවා නැවත ස්ථාපිත කිරීමට පෙර සඳහන් කළ කිසිවකු බලපෑම් කළේ නැත. අවම වශයෙන් උතුරේ ජනතාව හෝ පළාත් සභා ඉල්ලා උද්ඝෝෂණ කළේ නැත. රටේ ජනතාවගේ ජන ජීවිතය ද අඩාල වූයේ නැත.

ඒ අනුව පළාත් සභා දශක කිහිපයක් මේ රටේ ක්‍රියාත්මක වුවද ඒවා ජන ජීවිතයට බද්ධ වී නැති බව තහවුරු වෙයි. එහෙත් පැවති නෛතික රාමුව තුළ පළාත් සභා අහෝසි කිරීම පහසු වූයේ නැත. කෙසේ වුවද මේ වන විට ඒවා ඉබේම අහෝසි වන පසුබිමක් නිර්මාණය වී තිබේ.

පළාත් සභා නැමති සුදු අලියා වෙනුවෙන් වාර්ෂිකව වෙන් කරන කෝටි ප්‍රකෝටි ගණනක මහජන මුදල් ඉතිරිකරගත හැකි නම් ඒ මුදල් රටේ සංවර්ධනය සඳහා ආයෝජනය කළ හැකිය.

ඒ අතර ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන ව්‍යුහය ශක්තිමත් කර රටේ පරිපාලනය ගම් මට්ටම කරා ගෙන යාමෙන් ජනතාව මුහුණ දෙන බොහෝ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට ද හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස