ඡන්ද කටේ දකුණේ පාසල්වලට නව පත්වීම් දහස් ගණනක්! පළාත් සභාව දැඩි මූල්‍ය අර්බුදයක! අනධ්‍යන 2500ට සහ ගුරුවරු දාහට පඩි ගෙවාගන්න බෑ!

July 5, 2019 at 1:37 pm | by emanisa.lk

දකුණු පළාතේ පාසල්වලට අලුතෙන් බඳවා ගන්නා ලද අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ට සහ ගුරුවරුන්ට වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබීම නිසා ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා ගුරුවරුන්ගේ වැටුපෙන් කපාගනු ලබන ණය වාරික, රක්ෂණ වාරික,අධ්‍යාපන සේවක සමුපකාර ණය දෙන සමිතියට කපා ගන්නා ණය වාරික ඇතුලු මුදල්වලින් ඔවුනගේ වැටුප් ගෙවීමට සිදුව ඇති බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම නිලධාරියා පැවසුවේ අධ්‍යාපන සේවක සමුපකාර ණයදෙන සමිතියට පමණක් ගුරුවරුන්ගේ පසුගිය මාසයේ වැටුපෙන් කපා ගන්නා ලද රුපියල් මිලියන එකසිය තිහකට අධික මුදලක් මේ වනතුරු එම සමිතියට ගෙවීමට නොහැකිවී තිබෙන බවය.

දකුණු පළාතේ පළාත් සභා පාසල් 1113ක් තිබෙන අතර පසුගිය අප්‍රේල් මාසයේ මෙම පාසල්වලට අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින් 2543ක් සහ ගුරුවරුන් 934ක් බඳවා ගෙන ඇති අතර වැඩිම අනධ්‍යන සේවකයින් බඳවා ගෙන ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් බව අනාවරණයවී තිබේ.

පාසල් කම්කරු,පාසල් මුරකරු,රසායනාගාර සේවක, පුස්තකාල සේවක, සනීපාරක්ෂක කම්කරු ආදි තනතුරු සඳහා අනධ්‍යන කාර්ය මණ්ඩලවලට සේවකයින් බඳවා ගෙන ඇති අතර සමහර පාසල්වලට අනධ්‍යන කාර්ය මණ්ඩලයේ හත් අට දෙනා බැගින් පත්කර ඇති බවද අනාවරණයවී ඇත.

මෙම පිරිසට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් මිලියන එකසිය දාහතකට අධික අමතර මුදලක් දැරීමට සිදුව ඇති බවද දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *