පැහැරගත් බව කී ස්විස් තානාපති නිලධාරිනිය හෙළිකර නෑ! පොලිසියට පැමිණිල්ලක් නෑ! පරීක්ෂණවලට සහාය නෑ! – සුදු වෑන් භීතිකාවක් මැවීමට සිදුකළ රඟපෑමක් බවට බලවත් සැකයක්……

November 29, 2019 at 9:35 am | by emanisa.lk

මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක සුදු වෑන් රථයකින් පැහැර ගත් බව කියන සිද්ධිය සත්‍ය නොවන නිර්මාණය කළ පුවතක් දැයි බරපතළ සැකයක් මතුව තිබේ. පසුගිය සඳුදා (25) ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් පසුව මුදාහැර ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ තම නිලධාරිනිය පැහැරගත් පිරිස තානාපති කාර්යාලයේ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බවයි. කෙසේ වෙතත් පැහැර ගැනීමට ලක් වූ නිලධාරිනිය කවුරුන්දැයි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මෙතෙක් අනාවරණය කර නොමැත. එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට හෝ මෙරට පොලිසියකට පැමිණිල්ලක්ද ඉදිරිපත් වී නැත.

මේ නිසා ඊයේ (28) වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ඇතුළු පිරිසක් ස්විස් තානාපති කාර්යාලයට ගොස් මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.

එහෙත් ඒ අවස්ථාවේදීත් තානාපති නිලධාරින් පැහැර ගැනීමට ලක් වූ බව කියන නිලධාරිනිය සම්බන්ධයෙන් විස්තරයක් හෝ පැහැර ගැනීම සිදු වූ අන්දම පිළිබඳ විස්තර ලබා දී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ යටතේ විමර්ශනයක් අරඹා ඇත.

මේ අතර තම නිලධාරිනියක බලහත්කාරයෙන් රඳවාගෙන ප්‍රශ්න කළ බව කියන චෝදනාව බරපතළ සිද්ධියක් බවට තම රජය පිළිගන්නේ යැයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ස්විස්ටර්ලන්තය මෙම සිද්ධිය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයන්ට එරෙහිව සිදු වූ බරපතළ පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් ඉතා ඉක්මනින් නීතිය හමුවට පමුණුවා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ස්විස්ටර්ලන්තය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය බලාපොරොත්තු වන බව පවසයි.

ස්විස්ටර්ලන්තය සඳහා සමගාමීව පත් කර සිටින ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මෙම පරීක්ෂණය පිළිබඳ විමර්ශනය සඳහා ළඟදීම ස්විස්ටර්ලන්ත බලධාරින් හමුවීමට නියමිතය.

පැමිණිල්ලක් නොලැබුණද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස