හෝමාගම ක්‍රිකට් පිටිය හැදුවොත් අපි ජනතාව එක්ක පාරට බහිනවා! – සජිත් ප්‍රේමදාස

May 19, 2020 at 4:08 pm | by emanisa.lk

පාසල් සිසුන්ට ජල සහ වැසිකිළි අවශ්‍යතා ලබා නොදී ක්‍රීඩාංගණ ඉදිකරන ආණ්ඩුව විහිළු සැපයීම නතර නොකළොත් ජනතාව සමග පාරට බසින බව හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස ඊයේ (18දා) පැවැසීය.

අන්තර්ජාලය ඔස්සේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කළ හිටපු විපක්ෂ නායකයා මෙසේ ද කීවේය.

“ලංකා අයි.ඕ.සී. සමාගම පෙරේදා රාත්‍රියේ සිට රටටත් ජනතාවටත් හංගලා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ නංවා තියෙනවා. මේක කරලා තියෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව. මම ආණ්ඩුවෙන් අහන්න කැමැතියි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යද්දී ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද මේ විදිහට තෙල් මිල ඉහළ නංවන්න. ආණ්ඩුව හිතන්නේ තෙල් කොම්පැනි කාරයෝ ගැන ද නැත්නම් රටේ ජනතාව ගැන ද.

මේ ආණ්ඩුව ආවේ ශක්තිමත් ආර්ථිකයක් සහ සංවර්ධනයක් උදා කරනවා කියලා. මේකද සෞභාග්‍යයේ දැක්ම කියලා අහන්න මම කැමැතියි. තෙල් මිල අඩුවීමේ සහනය අපේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා පුන පුනා කියද් දී ආණ්ඩුව ඒ පිළිබඳව කිසිම තැකීමක් කරන්නේ නැහැ. අයි.ඕ.සී. සමාගම සමග කූට කුමන්ත්‍රණයක යෙදිලා ජනතාවට සහන දෙනවා වෙනුවට රජයේත් ඇමැතිවරයාගේත් ආශිර්වාදය ඇතිව මේ විදිහට රුපියල් පහකින් තෙල් මිල වැඩි කරන්නේ කොහොමද? මේ ආණ්ඩුව කරන්නේ අමානුෂික පහත් ක්‍රියාවක් කියලා කියන්න කැමැතියි.

ඒ අතර රුපියල් කෝටි 748ක් වැය කරලා අලුත්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න යනවා. මම අහන්නේ මෙහෙම කරන්නේ කොහොමද? හතර දෙනෙක් ඉන්න පවුලකට අඩු තරමේ රුපියල් විසිදාහක් දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. ඒත් ඒ වෙනුවට කෝටි 748 වියදම් කරලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න රජය සැලසුම් කරනවා. මේ මොහොතේ අනවශ්‍ය ක්‍රීඩාංගණ හදනවා වෙනුවට මහල් නිවාස හදලා කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස නැති පවුල්වලට නිවාස ඉදි කරලා දෙන්න. ප්‍රමුඛතාව එය නොවේද. නමුත් ඒවා නොකර ජනතා අසහනය නොසලකා ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන එක හරිද?

අද මිනිස්සු ජීවත් වීමේ අයිතිය ඉල්ලනවා. බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වෙලා. කර්මාන්තශාලා ටික වැහිලා. හාම්පුතුන්ට පඩි ගෙවා ගන්න බැරිවෙලා. තත්ත්වය එසේ වුවත් ආණ්ඩුව ක්‍රීඩාංගණ හදන්න වෙහෙසෙනවා. මේක අමානුෂික අලුගෝසු දේශපාලනයක්.

මේ මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති භංග කරන දේශපාලනය වහාම පරාජය කළ යුතුයි. පානීය ජල පහසුකම් නැති පාසල් පන්සිය අසූ දෙකක් තියෙනවා. වැසිකිළි පහසුකම් නැති පාසල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ජනතා අවශ්‍යතාවන් ලබා නොදී ආණ්ඩුව විහිළු කරනවා. මේ අමානුෂික කටයුතු නතර නොකළොත් අපි ජනතාව සමග පාරට බහිනවා.”

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ඉදිකිරීම කාලීන අවශ්‍යතාවක් බවත් ඒ සඳහා සියලු ආයෝජන සිදුකරන්නේ රජය නොව තම ආයතනය බවත් ඒ සඳහා ණය ලබා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස