ෆොටෝ එඩිට් කරල මඩ ගැහුවා කියලා මං CID කැඳවලා! පාඨලියි මමයි මඩ කැම්පේන් කරනවා කියන්නේ බොරුවක්! – ධනුෂ්ක රාමනායක

November 17, 2020 at 8:23 am | by emanisa.lk

මහරගම නගර සභාවේ සභිකයකු වන ධනුෂ්ක රාමනායක විකෘති කළ ඡායාරූප සමාජමාධ්‍යවල පළ කිරීම පිළිබඳ විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. හිටපු ඇමැති පාඨලී චම්පක රණවකගේ අමාත්‍යංශවල මාධ්‍ය ලේකම් ධුරය දැරූ ධනුෂ්ක රාමනායක ඔහුගේ සමීපතමයෙකි. මේ පිළිබඳ ඔහු ෆේස්බුක්හි තබා ඇති සටහන පහත දැක්වෙයි.

හෙට උදෑසන මා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ ජනාධිපති, අගමැති ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ අතිපූජනීය බෞද්ධ සිද්ධස්ථානයක දාන ශාලාවේ සුවපහසු අසුන් වල වාඩි වී සිටින, ගරුතර මහා සංඝරත්නය සිටගෙන සිටින ජායාරූපයක් සමාජජාල මාධ්‍ය මත පළ කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශණයක් සඳහා කටඋත්තර ලබාදීමටයි.

ඊයේ සවස් කාලයේ මා සමාජජාල පරිශීලනය කරන අවස්ථාවේදී මෙම ජායාරූපය මා විසින් දුටු අතර එහි ස්වරූපය අනුව ව්‍යාජ ජායාරූපයක් යැයි හැඟි නොයන නිසා එය මාගේ ගිණුමේ සහ පිටුවේ පළ කලෙමි. මෙම ජායාරූපය මා විසින් උපුටා ගන්නා ලද පුද්ගලයාගේ ගිණුමේ ස්ක්‍රීන් ෂොට් සහ අනෙකුත් සත්‍යාපන සාක්ෂි මා හමුවේ තිබේ. එය කිසිසේත්ම මා හෝ මාගේ අනුදැනුම යටතේ මාගේ හිතවතුන් විසින් ලබාගන්නා ලද හෝ ව්‍යාජ ලෙස සකස් කරන ලද ජායාරූපයක් නොවන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.

මෑතකදී පටන් ගරු ජනාධිපතිවරයා සහ වර්තමාන ආණ්ඩුවට එල්ල වෙමින් පවතින මහජන විරෝධය පාඨලී චම්පික රණවක මහතා, මම සහ මාගේ හිතවතුන් විසින් කෘතීමව නිර්මාණය කරන ලද “මඩ කැම්පේන්” එකක් ය යනුවෙන් ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් විසින් මතයක් ජනගත කරමින් සිටියි. අප විසින් වර්තමාන ආණ්ඩුව දේශපාලනිකව පරාජය කිරීම සදහා නීත්‍යානුකූලවත් ප්‍රජාතන්ත්‍රවාදීවත් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශ කරමි. නමුත් ඒ සදහා කිසිලෙසකින්වත් ව්‍යාජ ජායාරූප ජනගත කිරීම වැනි මුග්ධ ක්‍රියාකාරකම් වල නොයෙලෙන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

උක්ත ජායාරූපය මා විසින් පළ කරනු ලැබූයේ, සිංහල – බෞද්ධ ජනසමාජය විසින් අති ගෞරවනීයව වන්දනාමාන කරන භික්ෂු සංස්ථාවට සහ ආගමික පදනමට හානි වන ආකාරයෙන් රටේ රාජ්‍ය නායකයා සහ අගමැතිවරයා හැසිරීම ඉතා නුසුදුසු බවට හැඟී ගිය නිසා බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සිංහල බෞද්ධ රටක ජීවත්වන පුරවැසියෙකු සතු අයිතිය භාවිත කරමින් බව ඉදුරාම ප්‍රකාශ කල යුතුය.
හෙට උදෑසන 9.00 ට මම අනිවාර්යයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටින අතර එහිදී යොමු කෙරෙන ඕනෑම ප්‍රශ්ණයකට සෘජු පිළිතුරුද ලබාදෙමි.

රටේ අපරාධමය නිමිත්තක් සහිත කරුණු රාශියක් තිබියදී රාජපක්ෂ පවුලේ සාමජිකයින්ගේ දිනපතා චර්‍යාවන්ට එල්ල වන මහජන විරෝධයන් යටපත් කිරීම සදහා සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ කෙරෙහි අපගේ බලවත් කනස්සල්ල ප්‍රකාශ කරන අතර මේ රටේ පුද්ගල නිදහස සම්බන්ධයෙන් සංවේදී පොදු මහජනතාව මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටිනු ඇතැයි විශ්වාස කරමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස