නිදන්ගලක් ඉතිරි නොකළ හාදයන්ට අද උරුමය මතක් වෙලා! කුරුණෑගල වරදක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න පසුබට වෙන්නේ නෑ! – අගමැති මහින්ද (video)

July 20, 2020 at 11:13 pm | by emanisa.lk

කුරුණෑගල පුරාවිද්‍යා උරුමයක් විනාශ කර ඇත්නම් ඊට වැරදිකරුවන් වන කිසිවෙකුට සමාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මොණරාගල බඩල්කුඹුර ජනහමුවකට ඊයේ (19) එකතු වෙමිනි.

මේ රටේ පෞඪ ඉතිහාසයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීම බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක පරම වගකීමක්. අපි එම වගකීම අතීතයෙත් ඉතාම ඉහළින් ඉටු කළා. අදත් ඒ වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නවා. රටට අහිමි වෙමින් පැවති මුහුදු මහා විහාරය රැක ගන්න ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙළ ඒ සඳහා හොඳ උදාහරණයක්.

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකයකට හානි කිරීම පිළිබඳ අද අපට චෝදනා නඟන සජිත් ප්‍රේමදාස එදා එජාප ආණ්ඩුව යටතේ විජිතපුර පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරන කොට නිහඬව හිටියා. ඔහු තමයි ඒ ආණ්ඩුවේ සංස්කෘතික ඇමති. තමන්ට බලය හිමි වූ අවස්ථාවල පුරාවිද්‍යා ස්මාරකයක් තබා නිදන් ගලක්වත් ඉතිරි නොකළ කණ්ඩායම් අද අපට එරෙහිව මඩ අවලාද චෝදනා නඟනවා.

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකයට හානි කරලා කියලා දැනගත්තාම සංස්කෘතික ඇමතිවරයා විදිහට ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනය කරන්න විශේෂඥ කමිටුවක් පත් කළා. ඒ වාර්තාව අනුව කවුරු හරි වරදක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න අපි පසුබට වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් ගතයුතු නීතිමය පියවර ඉදිරියේ දී ගන්නවා.

අපේ ආණ්ඩු කාලවල හැමදාම අපි රටේ වටිනාකම ඉහළ දමන්න කටයුතු කළා. පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන අතර අපේ සංස්කෘතික උරුමය සභ්‍යත්වය පෝෂණය කරන්න කටයුතු කළා. නමුත් එජාප ආණ්ඩු කාලවල මේ රටේ පුරාවිද්‍යා උරුමය හැමදාම නිදන්හොරුන්ගේ අන්තවාදීන්ගේ පරාදිසයක් වුණා. ඒ උරුමය ආරක්ෂා කර ගන්න කිසිම පියවරක් නොගෙන විනාශ වන්නට ඉඩ හැරියා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස