ගසාගෙන ගියා කී ගල්කිස්ස වෙරළ යළි ප්‍රතිනිර්මාණය වෙයි – මඩ අවලාද මූදුබත් වී වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශය සත්‍ය වෙයි…

July 19, 2020 at 4:29 pm | by emanisa.lk

කවුරු හොඳ නෑ කියලා කිව්වත් ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ සංරක්ෂණය ඇතිකළ කෘතිම වැලි පරය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අපට විශාල වාසි ගෙන දෙන්නක් වුනා. ශීත කාමර වල ඉන්න අය කොහොමද වැල්ල ගැන දන්නේ වැල්ල ගැන අහන්න වෙරළෙ ඉන්න අපෙන් යැයි ගල්කිස්ස සංචාරක වෙරළ තීරයේ සංචාරක අවන්හල් පවත්වාගෙන යන්නන් සහ එහි පැමිනෙන දේශිය සංචාරකයින් පැවසීය.

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වූ ගල්කිස්ස වෙරළ තීරයේ නිර්මානය කළ කෘතිම වැඩි පරය මුහුදට ගසාගෙන යාම පිළිබඳව අප පසු විපරමක නිරත වූ අතර එහි දී විවිධ පාර්ශවයන් මෙම අදහස් පල කලහ.

කළුතර, අඟුලාන සහ ගල්කිස්ස යන වෙරළ කළාපයේ කෘතිම වෙරළ නිර්මානයට රුපියල් මිලියන 890ක වැයවු අතර ඒ සඳහා වැලි කියුබික් මීටර් එක් ලක්ෂ පනස්දහසක් පොම්ප කර ඇත

රත්මලාන දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් හතරත් හයත් අතර දුරකින් පිහිටි වැලි නිධියකින් වැලි ගෙන තිබූ අතර එහි පසුවිපරමක නිරථ වු අපට දැකගත හැකි වූයේ ගල්කිස්ස හෝටලය අසලින් යම් ප්‍රමානයකට ගසාගෙන ගිය වැලි පරය ඊට මදක් ඔබ්බෙන් වූ කලාපයේ නැවතත් ප්‍රති නිර්මාණය වී ඇති ආකාරයයි.

මේ පිළිබඳව වෙරළ තීරයේ විවිධ පාර්ශ්වයන්ගෙන් අප අදහස් විමසා සිටි අපට එහිදී සංචාරක නිකේතනයක සේවයේ නියුතු ගාමිණී තිලකරත්න මහතා අප හා මෙසේ පැවසීය.

කවුරු කොහොම කිව්වත් මේ පළල් වෙරළ අපට කොතරම් වාසිදායක වූවාදැයි දන්නේ අපයි සීත කාමර වල ඉන්න අය ඒවා දන්නේ නෑ.

සෑම වාරකන් කාලයේ දී දුම්රිය මාර්ගය අසලට ම මුහුදු රළ ගසන තත්වයක් තිබුණා. එවන් ආපදා තත්ත්වයකදී වැලි ගෝනි නිර්මාණය කරමින් සෑම අවන්හල් හිමියෙකුම විඳි දුක දන්නේ අපයි.

ඇතැම් අවස්ථාවන්හිදී හෝටලයේ ඉදිරිපස කොටසට වෙනකම් මුහුදු රළ ගසාඒමෙන් සිදුවූ හානිය විශාලයි.

මේ සම්බන්ධයෙන් ඒ දවස්වල අප විවිධ පාර්ශ්ව දැනුවත් කලත් සියල්ලන්ගේම අදහස වූයේ වාරකන් කාලයේ එය ස්වාභාවික විපතක් පමණක් බවයි.

මේ වන විට වෙරළ තීරයේ ක්‍රීඩා කරන අයට පවා විශාල ඉඩකඩක් නිර්මාණය වී තිබෙනවා. වාරකන් අවසාන වූ පසු ගල්කිස්ස වෙරළ තීරයේ තවත් පුළුල් කලාපයක් පුරා වෙරළ නිර්මාණය වේවි යැයි අප විශ්වාස කරනවා කෙසේ වුවත් මේ කෘතිම වැලිපරය නිර්මාණය කිරීම තුළින් අප ව්‍යාපාරයන්ට විශාල වටිනාකමක් එකතු වූ බව නොකියාම බැහැ.

මෙහිදී ගල්කිස්ස සංචාරක වෙරළ තීරයේ ශරීර සුවතා සඳහා වෙරළට පැමිණි සිටි කලන ප්‍රනාන්දු මහතා අප හා අදහස් දක්වමින් මෙසේ පැවසීය

”බොහොමයක් පිරිස් යම් වැඩක් කලාම එහි දකින්නේ අඩුපාඩුවක් පමණයි මම බොහෝ කලෙක සිට ශරීර සුවතා සඳහා ගල්කිස්ස වෙරළ තීරයේ ඇවිද යන කෙනෙක්.ඇතැම් වාරකන් කාලයේ දී වෙරළ තීරය නැත්තටම නැතිවෙන තරමට මුහුදු රළ මේ සීමාවේ තිබෙන බොහොමයක් අවන්හල් වලට දැඩි හානි සිදු කරනු ලැබුවා.මම උපන්නේ ගල්කිස්ස ප්‍රදේශයේ කුඩා වියේ සිටම ගල්කිස්ස වෙරළ තීරයේ ජීවත්වූ මගේ අද්දැකීමට අනුවනම් අද ඇවිද යා හැකි මට්ටමට පත් කර තිබෙන ගල්කිස්ස හෝටලය ආශ්‍රිත කලාපයේ වැටකෙයියා පඳුරු සහ බිම බදාගෙන යන වැල් විශේෂය පරිසර ආරක්ෂණයක් ලෙස එදා දක්නට තිබුණ.

නමුත් කිනම් හෝ හේතුවක් නිසා එම ස්වාභාවික පරිසර ආරක්ෂණ වියමන දක්නට නැහැ පසුගිය කාලයේ දුම්රිය මාර්ගය අසල සිටගත් විට ඕනෑම කෙනෙකුට මුහුදු ඛාදනය කෙතරම් දැඩි ලෙස පවතින්නේ දැයි පැහැදිලි වන තත්වයක් පසු කාලිනව පැවතුනා.

කොහොම වුණත් අප පරිසරය රැක ගැනීම වෙනුවෙන් මීට වඩා අවධානය යොමු කළ යුතුව ඇතැයි මම සිතනවා.

බොහොමයක් දෙනා වැලි පර නිර්මාණය කිරීමට වැය වූ මුදල ගැන කතා කළත් මිනිස්    ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට වූ හානිය පිළිබඳව කිසිදු කෙනෙකු ගේ අවධානයට ලක් වීමක් මම දුටුවේ නැහැ.

අද ඕනෑම කෙනෙකුට ගල්කිස්ස වෙරළ තීරයේ ගල්කිස්ස හෝටලය ආශ්‍රිත කලාපයට ද පෙර පරිදි ම ඇවිද යා හැකි වීම සතුටට කාරණයක්

එහිදී ගල්කිස්ස සංචාරක වෙරළ කලාපයේ අවන්හලක් පවත්වාගෙන යන රංජිත් ෆොන්සේකා මහතාගෙන්ද අප අදහස් විමසූ අතර ඒ මහතා මෙසේ පැවසීය.

මේ කෘතිම වැලි පරය පිළිබඳව ඇත්තටම අපට ඇත්තේ විශාල සතුටක් වෙනදාට වාරකන් කාලයෙන් පසු නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් වැය කිරීමට අපට සිදු වූනා.

එයට හේතුව අවන්හල් ඇතුලටම එන වාරකන් රළ නමුත් මේ වන විට වෙරළ කලාපයට පැමිණෙන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් වෙරළ තීරයේ ඇවිද යාමට හැකි තත්ත්වයක් මෙන්ම අපටත් අවන්හල් වලට පාරිභෝගිකයන් පැමිණීමේ ම් ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා.

මම හිතන්නේ ගල්කිස්ස වෙරළ කලාපය කොළඹට ආසන්නයේ තිබෙන ඉතාම වටිනා සහ එකම සංචාරක වෙරළ කලාපය මෙම කලාපයේ ඇතැම් ඉදිකිරීම් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි නීති පවතිනවා මම හිතන්නේ අපට මෙම වෙරළ කලාපයේ සුන්දර නිර්මාණ සිදු කිරීම තුළින් විදේශීය සංචාරකයින් අපගේ අවන්හල් වලට ගෙන්වා ගැනීමට හැකියාව පවතිනවා

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින ඇතැම් දැඩි නීති  ලිහිල් පිළිවෙතකට පරිවර්තනය වන්නේ නම් අපට මෙම සංචාරක කලාපයක විදේශිකයන්ගෙන් පැමිනීම තුළින් විශාල විනිමයක් රටට එක් කළ හැකියි.

කවුරු කොහොම මෙම සංචාරක වෙරළ කලාපයේ ඇවිද ඇවිද මොනදේ පැවසුවත් මෙම කෘතිම වැලි පරය නිර්මාණය කිරීම අපට විශාල වාසිදායක තත්ත්වයක් වුනා.

ඇ තැම් මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් දේශපාලනඥයන්ට නොතේරෙන බොහොමයක් කරුණු මෙම ගල්කිස්ස වෙරළ තීරයේ තියෙනවා එහි අවන්හලක් පවත්වාගෙන යන පිරිස වගේම එදිනෙදා සංචාරකයින්ට යම් යම් නිර්මාණයන් අලෙවි කොට දිවි ගෙවන වෙළඳුන් පිරිස් සිටිනවා වාරකන් කාලයේ දී ඔවුන්ට පවා වෙන රැකියාවලට යාමට සිදුවෙනවා.

වෙරළ තීරයට විදේශීය සංචාරකයින් ඇති වීමේ යම් අඩුවක් රටේ පවතින කොරෝනා තත්ත්වය සහ වෙනත් හේතු කාරණා නිසා පැවතුනත් දේශීය සංචාරකයන්ගෙන් යම් පැමිණීමක් දක්නට හැකියි ඒ වගේම ක්‍රීඩාවන්හි නිරත වන කණ්ඩායම් ශරීර සුවතා සඳහා පැමිණෙන කණ්ඩායම් යම් යම් උත්සව සඳහා පැමිණෙන කෙරෙහි සාමාන්‍ය වැඩිවීමක් දක්නට ලැබෙනවා.

වැලි පරය ගසා‌ගෙන ගියායැයි වැල්ලේ නටපු කව්රැවත්  අප විඳින දුක කිසිදු දවසක දුටුවේ නැහැයයි පැවසීය.

එහිදී  වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ වෙරළේ නව තත්වය ගැන අප විමසා සිටි අතර ඒ මහතා මෙසේ පැවසීය.

මේ වන විටත් ගල්කිස්ස වෙරළ තීරයට යන ඕනෑම අයකුට ස්වභාවිකව අලුතෙන්ම නිර්මාණය වෙමින් පවතින වැලි පරය දැකගත හැකියි. පෙර පැවති වැලි පරයත් නැවත නිර්මානය වෙමින් පවතින වැලි පරයත් පැහැයන් දෙකකින්  යුක්තව පෙනෙන්නට තිබීම විශේෂත්වයක්. ගල්කිස්ස කියන්නේ කොළඹට  ආසන්නව තිබෙන එකම සංචාරක වෙරළ තීරයයි.එය මුහුදු ඛාදනයෙන් බේරා ගෙන සුන්දර වෙරළ තීරයක් ලෙස පවත්වාගෙන අවශ්‍යයි.ගල්කිස්ස හෝටලය ආසන්නයේ යම්තාක් දුරට ඉවත්ව ගිය වැලි පරය ඊට මෙපිටින් කොළඹ පැත්තට වන්නට නිර්මාණය වී ඇති අයුරු දැකගත හැකියයි පැවසීය.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස