සජිත් එක්ක ඉන්නේ ජාතික කොඩිය ඔසවන සම්බන්ධන්! ගෝඨා එක්ක ඉන්නේ ඊළාම් කොඩිය ඔසවපු වර්ධරාජා! – මංගල

November 4, 2019 at 9:50 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නිල වශයෙන්ම තම කඳවුරේ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට හිමිව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඒ ඊයේ (03) පැවති මාතර දිස්ත්‍රික් තරුණ සම්මේලනය ආමන්ත්‍රණය කරමිනි.

කලෙක සිටම ටීඑන්ඒ සංවිධානය තම පක්ෂය හා එක්ව වැඩ කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙම සහයෝගය දැක්වීම තම ප්‍රතිවාදී කඳවුර විසින් කොටින්ගේ සහයෝගයත් සජිත් ප්‍රේමදාස කඳවුරට ලැබී ඇති බවට හුවා දැක්වීමට පාවිච්චි කරන බවද සඳහන් කළේය.

“අපි මෙතැනදී මතක් කරන්න ඕන රට බෙදන අය කොහෙද ඉන්නෙ රට එකතු කරන අය කොහෙද ඉන්නෙ කියල. සම්බන්ධන් මැතිතුමා ගැන මට මතකයි 2012 දී අපි යාපනේ මැයි දිනේ තියන්න එක්සත් ජාතික පක්ෂයෙන් ගියපු වෙලාවේ අපේ වේදිකාවට නැගල ශ්‍රී ලංකාවේ ධජය ඔසවපු ශ්‍රී ලංකාවේ ධජය ජනතාවට වනපු සම්බන්ධන් තමයි ටීඑන්ඒ නායකය. එතුමා තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නෙ.

මිත්‍රවරුනි අනිත් කඳවුරේ කවුද ඉන්නෙ ? ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතු වෙලා ඉන්නෙ වෙන කවුරුවත් නෙමෙයි 1990 ත්‍රිකුණාමල නගරයේ වෙනම ඊලම් රාජ්‍යක් ප්‍රකාශ කරල ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ පළමු වතාවට ඊලම් කොඩිය ප්‍රසිද්ධියේම ඔසවපු වර්ධරාජා පෙරුමාල්. එයා අද ගෝඨාභය රාජපක්ෂ එක්ක.”

කෙසේ වුවද වර්ධරාජා පෙරුමාල් මේ වන විට ඊළම ප්‍රතික්ෂේප කර ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින අතර ආර්. සම්බන්ධන් උතුරු නැඟෙනහිර එකතු කර දෙමළ නිජබිම ලෙස නම්කර ස්වයං නිර්ණන අයිතිිය ලබා දීම ඔස්සේ ඊළමට අඩිතාලම දැමිය යුතුය යන අදහසේ අදත් සිටින්නෙකු බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස