උතුරු නැඟෙනහිර අතුරුදන් වූවන් පිළිබඳ විරෝධතා නිශ්ඵලයි! අතීතය අමතක කර සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි! – වර්ධරාජා පෙරුමාල්

September 10, 2019 at 8:11 pm | by emanisa.lk

යුද සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් දැන් සිදුකළ යුත්තේ විරෝධතා පැවැත්වීම නොව සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමු කිරීම බව උතුරු නැගෙනහිර දෙපළාතේ පළමු ප්‍රධාන ඇමැති ලෙස හිටපු වර්ධරාජා පෙරුමාල් පවසයි.

වවුනියාව ප්‍රදේශයේ පැවැත්වු ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ වර්ධරාජා පාර්ශ්වයේ පාක්ෂිකයින් පිරිසක් හමුවිමේ අවස්ථාවකට එක්වෙමින් හෙතෙම එලෙස පැවසුවේය.

අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඇතැම් පිරිස් විරෝධතා පවත්වනු ලැබුවත්, අදාළ පිරිස් දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව හෙතෙම කියයි. එබැවින් අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට විරෝධතා පවත්වන පිරිස් සිය ජීවිත සංවර්ධනය වෙනුවෙන් යොමු කළ යුතු බවත්, එළැඹෙන මැතිවරණයන්හිදී ජනතා ගැටලු වෙනුවෙන් කැපවෙන පුද්ගලයින් වෙනුවෙන් සිය ජන්දය ප්‍රකාශ කළ යුතු බවද පෙරුමාල් ප්‍රකාශ කරයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ එළැඹෙන ජනාධිපතිවර‍ණයේදී දෙමළ ජනතාව රට වෙනුවෙන් සේවයක් කළ හැකි පුද්ගලයෙකු තෝරාගෙන ඔහු ජනාධිපති ලෙස පත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් තමන්ටද කනගාටුවක් පවතින නමුත් යුද්ධය නිමා දස වසරක් ගතවූ අවස්ථාවේදීත් අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිතා කටයුතු කිරීම නිශ්ප්‍රයෝජන ක්‍රියාවක් වන බව පෙරුමාල්ගේ අදහස වෙයි.

වර්ධරාජා පෙරුමාල් 1988 දෙසැම්බර් සිට 1990 මාර්තු මස දක්වා උතුරු නැගෙනහිර පළාත් සභාවේ පළමු ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර, හෙතෙම ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය නියෝජනය කරනු ලැබීය.

ඊ.පී.ආර්.එල්.එ‍ෆ් පක්ෂය දෙකඩවීමෙන් අනතුරුව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය තුළ වර්ධරාජා පෙරුමාල් කණ්ඩායම හා සුරේෂ් ප්‍රේමචන්ද්‍ර කණ්ඩායම ලෙස කොටස් දෙකක් වර්තමානයේදී ගොඩනැගී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස