වසර තිස් දහසක් පැරණි පාහියන්ගල ලෙනේ සංගීත සාජ්ජයක්! විමර්ශනයට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට පොලු පහර!

January 3, 2020 at 3:19 pm | by emanisa.lk

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පාහියංගල පුරාවිද්‍යා ලෙනේ යම් සංගීත සංදර්ශනයක් පවත්වන්නේ දැයි සොයා බැලීමට (01) එහි ගිය දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමකට පොලු රැගත් පිරිසක් පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට දැනුම් දුන් බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල පවසයි.

රජයේ පාසල් ගුරුවරයකු විසින් පාහියංගල ලෙනෙහි පසුගිය 01 වෙනිදා පැවැත්වීමට සූදානමක් තිබූ සංගීත සංදර්ශනයක් මෙම සිද්ධියට මුල් වී ඇත. එම සංගීත සංදර්ශනයට අවසරය ලබාදෙන ලෙස ලෙන ආසන්න විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට (31) ලිපියක් යොමුකර ඇත.

මේ පිළිබඳ සොයා බැලූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර කොමසාරිස්වරයා ඊට අවසරය දිය නොහැකි බව දන්වා තිබේ.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ සංදර්ශනය පැවැත්වීමට සංවිධායකවරයාට හෝ අදාළ විහාරාධිපති හිමිට අවසරය දී නැත.

අවසර නොමැතිව පාහියංගල ලෙනෙහි සංගීත සංදර්ශනයක් පැවැත්වුවහොත් එය නතර කිරීමට පියවර ගන්නා ලෙසත් එම පිරිසට විරුද්ධව පුරාවිද්‍යා ආඥාපනත යටතේ කටයුතු කරන ලෙස පුරාවිද්‍යාව මගින් බුලත්සිංහල පොලිසියට දන්වා ඇත.

මේ අතර මෙම සංගීත සංදර්ශනය පවත්වනවා දැයි සොයා බැලීමට එහි ගිය පුරාවිද්‍යා නිලධාරීන් පිරිසට පොලු රැගත් පිරිසක් පහරදීමට තැත් කර තිබේ. එම නිසා එම නිලධාරීන්ට කැලයේ සැඟවීමට සිදුවී ඇතැයිද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

මේ පිළිබඳව බුලත්සිංහල පොලිස් ස්ථානයේ ඉහළ නිලධාරියකුගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ පුරාවිද්‍යා නිලධාරීන්ට පහරදීමට තැත් කිරීම පිළිබඳ පැමිණිල්ලක් ලැබී නැති බවයි. අදාළ පුරාවිද්‍යා ස්ථානයේ සංගීත සංදර්ශනයක් පවත්වනවා දැයි සොයා බැලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් (1 ) එහි පිටත්කර යැවුවද එවැනි සංදර්ශනයක් එහි නොතිබූ බවද පොලිසිය කියයි.

මෙම සංගීත සංදර්ශනය සම්බන්ධව සිංහලයේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් කෑගල්ල, නාගොල්ල පාර බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී (1) මාධ්‍ය හමුවක්ද පැවැත්වීය. එහිදී ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් කියා සිටියේ වසර තිස්දහසකට වඩා ඉතිහාසයක් තිබෙන පාහියංගල ලෙනේ සංගීත සංදර්ශනයක් පැවැත්වීමට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා අවසරය ලබාදී ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස