බදියුදීන් යටතේ අන්තවාදී අරාබි පාසල් ජාලයක් ක්‍රියාත්මකයි! මුස්ලිම් අන්තවාදය පිළිබඳ අවධානය යොමු කළ එකම නායකයා ගෝඨාභයයි!

June 14, 2020 at 9:41 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ අන්තවාදී ඉගැන්වීම් සිදු කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13) අනාවරණය කළේය.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පළමු දිනට සාක්ෂි ලබා දෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එවැනි පාසල් 30 කට ආසන්න සංඛ්‍යාවක් මෙරට ක්‍රියාත්මක වන බවය.

අදාළ ජාලය තුළ අරාබි ජාත්‍යන්තර පාසල් 30ක් පමණ ක්‍රියාත්මක වන බව පැවසූ ඥාණසාර හිමි වැඩිදුරටත් පැහැදිලි කළේ අදාළ පාසලක නම සඳහන් ප්‍රකාශයක් සිදු කළහොත් ඊට පසුදිනම එහි නම වෙනස් කිරීමක් සිදුකරන බැවින් මෙම පාසල් ජාලය පිළිබඳ තොරතුරු සෙවීමට අපහසු බවය.

කෙසේ වෙතත් අදාළ පාසල් පිහිටුවා ඇත්තේ තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප්‍රදේශ තුළ බවද ඒවායේ ප්‍රධානීන් ඉහ්වාන් හා ජමාතේ ඉස්ලාම් යන අන්තවාදි මත දරන්නන් බවද උන්වහන්සේ අනාවරණය ක‍ළහ.

ඥාණසාර හිමි වැඩිදුරටත් කොමිසම හමුවේ අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ සිටියදි අයි.එස් සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා යොමු වූ පළමු පුද්ගලයාද ගලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු බවය.

මෙහිදි ජනාධිපති කොමිසම ඥාණසාර හිමියන්ගෙන් විමසා සිටියේ “මෙරට තුළ ෂරියා විශ්වවිද්‍යාල ඇති බවට තොරතුරු ලැබුණේද?” යන්නයි.

ඊට පිළිතුරු දුන් උන්වහන්සේ සඳහන් කළේ මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක් රටේ නායකයෙකුගේ නමින් හෝ ආගමික නායකයෙකුගේ නමින් නම් කර නොමැති පසුබිමක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා ඇතුළු කණ්ඩායමක් ‘‘මලික් අබ්දුල්ලා‘‘ යන සෞදි අරාබි රජවරයෙකුගේ නමින් මෙරට තුළ විශ්වවිද්‍යාලයක් ඉදි කළ බවය.

විරෝධතා සිදුකර එම විශ්වවිද්‍යාලය ඉදි කිරීම වළක්වා ගැනීමට නොහැකි වුවද ඊට ඇතිකළ විරෝධතාවයන් හමුවේ ‘‘මලික් අබ්දුල්ලා‘‘ යන නම ගලවා දැමීමට හැකිවු බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අද වන විට එය බැටිකලෝ කැම්පස් ලෙස පවතින බවත් මේ වන විට එහි ෂරියා ඉගැන්විම් සිදු නොකරන බව හිමිකරුවන් පැවැසුවද ‘‘arts in sharia islamic‘‘ යන ඉගැන්විම සිදුකිරිමට ඔවුන් සුදානමින් සිටි බව ඥාණසාර හිමියන් සිය සාක්ෂි ලබාදීමේදි කියා සිටියේය.

සිය සාක්ෂි ලබාදීමේදි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ අබ්දුල් රාසික් නැමැති පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන බීකාස් නැමැති අධ්‍යාපන ආයතනය තුළද ඇතැම් අන්තවාදී ඉගැන්වීම් සිදු කරන බවය.

එසේම විදේශයන්හි සිට අන්තවාදින් මෙරටට එවනු ලබන මුදල් ගණනය කිරිම සඳහා මෙරට තුළ තවමත් නිසි ක්‍රමවේදයක් නොමැති බවද ඥාණසාර හිමි ජනාධිපති කොමිසමට පැහැදිලි කළේය.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ කාලාන්තරයක් පුරා සිදුවු අන්තවාදි ක්‍රියාකාරකම් පිළිබඳව තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවක හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලිඛිතව ක්‍රමානුකූලව ද මෙම අන්තවාදී ක්‍රියා පිළිබඳව දැනුවත් කළ බවය.

කෙසේ වෙතත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පමණක් තමන් ඇතුළු පිරිස ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා මේ පිළිබඳ විමසීම කළ බවය.

වෙනත් කිසිදු වගකිවයුත්තෙකු හෝ රජයක් 2012 වසරේ සිට පාස්කු ප්‍රහාරය එල්ලවන තුරු අන්තවාදය පිළිබඳව තමන් හෙළි කළ තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමු නොකළ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

adaderana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස