පාර්ලිමේන්තුව නැවත කැඳවා ගැටලුව විසඳන්න පුළුවන්! – මහින්ද දේශප්‍රිය

April 4, 2020 at 1:39 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් කැඳවා පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි තත්ත්වයක් තුළ, මතුව තිබෙන ව්‍යවස්ථාමය ගැටලුව පාර්ලිමේන්තුවට විසඳිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හා නීතිපතිවරයාගෙන් කරුණු විමසා තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමට සිදුවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.

මෙම තත්වය පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිසි පැහැදිලි කිරීමක් නොමැති නිසා ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුන පවතින තත්වය විසඳාගත යුතු බව ඔහු පැහැදිළි කළේ, ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය බලය හිමි ආයතන තුන ඒවා බව පෙන්වාදෙමිනි.

දැනට පවතින තත්වය යටතේ මැතිවරණය කල් දැමීමේ හැකියාවක් මැතිවරණ කොමිෂන් සභාවට ඇති නමුත්, කැඳවන ලද නාමයෝජනා අවලංගු කිරීමේ හැකියාවක් කොමිසමට නැති බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම පාර්ලිමේන්තුව නැවත රැස්කර කැඳවන ලද නාමයෝජනා පිළිබඳව පාර්ලිමේන්තුව තීන්දුවක් ගත යුතු බව ඔහු කියයි.

අප්‍රේල් 01 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත යවන ලද ලිපිය පිළිබඳව අප්‍රේල් 02 වැනිදා කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කීය. ඉහත කී ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි පිටපතක් ගාමිණී සෙනරත් මහතා වෙතද යොමුකර ඇත්තේ අගමැතිවරයා දැනුවත් කරන ලෙස සඳහන් කරමින්ය.

එම ලිපියෙහි මෙසේ සඳහන් කර ඇත.

‘පසුගිය පැය විසිහතර තුළ කොවිඞ් 19 රෝගීන් වැඩිවූ සංඛ්‍යාව සලකා බලන විටදී හා වසංගත රෝග පාලනය පිළිබඳ විශේෂඥ මත අනුව මේ වෛරසයේ පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීම අපේ‍්‍රල් මාසයේදි සිදුකළ නොහැකි බව පැහැදිලිය.
එහෙයින් පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස අවසන් සතිය තුළදී හෝ පැවැත්විය නොහැකි බවත්, එනිසා පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 02 දින සිට මාස තුනක් ඉකුත් විමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවත් 2020.04.01 දින රැුස්වූ මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.

මේ නිසා ඇතිවන ගැටලූ විසඳා ගැනීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීමක් ලබා ගැනීමට ගරු ජනාධිපතිතුමා කඩිනමින් ක‍්‍රියා කිරීම යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අදහස් කරයි.

කරුණාකර මේ පිළිබඳව නොපමාව අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරනු මැනවි.’
මැතිවරණ කොමිෂන් සභාව මාර්තු 31 වැනිදා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවමින් කියා තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි නිසා ඇතිවන ගැටලූ පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසන ලෙසය.

තත්ත්වය පිළිබඳව විමසීමට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත් නමුත් පුවත ලියැවෙන මොහොත වන තෙක් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

අනිත්දා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස