ආගමික ස්ථානවල අපේක්ෂකයන් පුම්බන පුදපූජා එපා! – මැකො

November 14, 2019 at 10:30 am | by emanisa.lk

ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට හෝ දේශපාලන පක්‍ෂවලට වක්‍රාකාරව හෝ ප්‍රචාරයක් ඇතිවන ආකාරයට අද සිට ඇරඹෙන ‘නිහඬ’ කාලය තුළ ආගමික ස්ථානවල බෝධි පූජා, දේව මෙහෙයන්, හෝ වෙනත් පුද පූජා පැවැත්වීම නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ප්‍රචාරක කටයුතු සිදුනොවන නිහඬ කාලය තුළ විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් හා මුස්ලිම් පල්ලිවල අපේක්‍ෂකයන්ට සෙත් පැතීමේ විවිධ පුද පූජා පැවැත්වීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා ආගමික නායකයන් එවැනි දේ සිදුනොකර නිදහස් මැතිවරණයකට සහාය ලබාදෙන ලෙසද ඊයේ (13 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා ඉල්ලා සිටියේය.

ආගමික ස්ථානවල අපේක්‍ෂක ප්‍රචාරණයන් ඇතිවන ආකාරයේ පුද පූජාවන් නොපවත්වන ලෙස මීට පෙර ඉල්ලා සිටියද ඊට එකඟ නොවී අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ පුද පූජා පැවැත්වූ බවට පැමිණිලි 10 ක් ලැබී ඇති බවද ඊට අදාළ පටිගත කිරිම් ද ලැබී ඇති බව සභාපතිවරයා කීය.

මෙම පැමිණිලි හා සාක්‍ෂි සියල්ල ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසියට භාර දුන් බවද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම උපකාරක පන්තිවල ගුරුවරුන්ද විවිධ අපේක්‍ෂකයන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බව එවැනි දේ සිදු කිරීම ‘නිහඬ’ කාලය තුළ තහනම් බවද සභාපතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස