දෙමළ ඩයස්පෝරාව ගෝඨා ඝාතන කුමන්ත්‍රණයක! ගෝඨා යාපනය උසාවියට යාම අවදානම්! – බුද්ධි අංශ අනතුරු අඟවයි..

September 23, 2019 at 12:39 pm | by emanisa.lk

යාපනය අධිකරණයේ විභාග වන සරසවි සිසු ලලිත්-කූගන් නඩු විභාගයට ප්‍රකාශයක් ගැනීමට මෙම 27 වැනිදාට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යාපනය උසාවියට රැගෙන යෑම අවදානම් බව බුද්ධි අංශ අනතුරු හඟවයි.

එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලයේ වුවමනාවට යළි සක්‍රිය වීමට වෙර දරන එල්ටීටීඊ ක්‍රියාකාරී කණ්ඩායම් පසුගිය කාල සීමාවේ පාතාලය සමග එක්ව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සැලසුම් කරන බවට සාක්ෂි තිබියදී මෙවැනි නඩු විභාගයකට යෑම ජීවිත අවදානම් මැද ගමනක් බව බුද්ධි අංශ කියයි.

මෙම තත්ත්වය මත හිටපු ආරක්ෂක ලේකම්වරයා යාපනයට යාමට පෙර ඔහුට ඇති ජීවිත අවදානම ගැන විශ්ලේෂණාත්මක බුද්ධි වාර්තාවක් ලබාදෙන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. පොලිස්පතිවරයා විසින් මෙම බුද්ධි වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස තම ප්‍රධානීන්ට දැනුම් දී ඇත. ලලිත් කූගන් නඩුවට තමාවද යාපනය අධිකරණයට කැඳවූ බවත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යාපනයට කැඳවීමට පෙර ඔහුට ඇති තර්ජනය හඳුනාගෙන වෙනත් අධිකරණයකදී ප්‍රකාශයක් ලබාදීමේ හැකියාව සොයා බලන බවත් හිටපු ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල පවසා තිබේ.

පසුගිය කාල වකවානුවේ එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලය විසින් වන්නියේ සිදුකළ ක්‍රියාකාරකම් මෙන්ම යාපනයේදී පසුගිය මාසයේ අල්ලාගත් වෛද්‍ය සිවරූබන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ද එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලය හා පාතාලය එක්ව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැතක් සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ අනාවරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස