ජේ.ආර්. ගේ ලේ තැවරුණු දූෂිත ව්‍යවස්ථාව වෙනුවට රටට නැවුම් ව්‍යවස්ථාවක් ඕන! – ගෙවිඳු

October 25, 2020 at 9:00 am | by emanisa.lk

දහ නව වෙනි ව්‍යවස්ථා සංශෝධනය යනු මේ රට ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ඔස්සේ කැබලි කිරීම සඳහා රට ඇදගෙන යන්නට දියත් කළ පහුර බව පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙ වෙනි වර කියවීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමින් ඔහු (22) මේ බව ප්‍රකාශ කළේ ය.

“විසි වෙනි සංශෝධනයේ ආසන්න පසුබිම වන්නේ 2015 වසරේ ‘යහපාලනය’ නාමයෙන් ක්‍රියාවට නැඟුණු විජාතික කුමන්ත්‍රණයේ දුෂ්ට අරමුණ කරා යෑම පිණිස තැනූ පහුර වූ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යි. ෆෙඩරල් නැතිනම් ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම මගින් මේ රට අනාථ භූමියක් කිරීම, සදාදරණීය මව්බිම කැබලි කිරීම, සුදු ලෝක අධිරාජ්‍යයේ හමුදා කඳවුරක්, සැපයුම් මධ්‍යස්ථානයක්, වහල් බිමක් කිරීම – ඒ සඳහා ඉඩ හසර විවර කර ගැනීමටයි; 19 වෙනි සංශෝධනය ගෙන ආවේ. 19 ඒ ඉලක්කය කරා යෑමට තැනූ පහුර යි.

දහ නවයෙන් රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරිමට, රනිල් වික්‍රමසිංහ අගමැති අතට වංචනික ලෙස බලය සංකේන්ද්‍රණය කිරීම හා රාජ්‍ය ව්‍යුහය දුර්වල කිරීමට උත්සාහ කළේ මබ්විම අනාථ භූමියක් කිරීම, මබ්විම කැබැලි කිරීම යන ඉලක්කය සපුරා ගැනීම පිණිස ය. විසි වෙනි සංශෝධනයේ අරමුණ මේ 19 නිෂේධනය යි.

රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට දැරූ ප්‍රයත්නය අද වන විට මේ රටේ ජනතාව විසින් සහමුලින් ම පරාජය කර අවසාන ය. රනිල් වික්‍රමසිංහ අගමැති අතට බලය සංකේන්ද්‍රණය කර ගැනීමට දැරූ ප්‍රයත්නය මෙ රට ජනතාව පරාජය කළා පමණක් නොව ඒ දුෂ්ට ප්‍රයත්නයේ නියමුවන් දේශපාලන අනාථයන් බවට ද පත් කර ඇත. දහ නවයෙහි පරාජය කිරීමට ඉතිරිව ඇත්තේ රාජ්‍ය දුර්වල කිරීමට ගත් ක්‍රියාමාර්ගය නිවැරදි කිරීම යි. විසි වෙන සංශෝධනයේ අරමුණ වනුයේ මෙය යි.

පාර්ලිමේන්තු සභාවට ගරු අගමැතිතුමා ගේ විපක්ෂ නායකතුමා ගේ නියෝජිතයන් පත්කිරීමේ දී 20 වෙනි සංශෝධනයෙහි පනවා ඇති නිර්නායක මේ 21 වන සිය වසට නො ගැළපෙන බව ද කිව යුතු ය. ගරු අධිකරණ ඇමතිතුමනි, ඔබතුමා ගේ හැකියාව, වෘත්තීය නිපුණතාව ආදී නිර්නායක නො සලකා හුදු ලබ්ධිය මත පදනම් ව කරන විවේචන මේ 21 වෙනි සියසවට නො ගැළපෙන්නේ යම් සේ ද ඒ ලෙස ම අධ්‍යාපනය නැතිනම් වෘත්තීය සුදුසුකම් වෙනුවට අපැහැදිලි ‘ජන කොට්ඨාස’ යන නිර්ණයක් ඉදිරිපත් කරතිබීම ගැන අපි කනගාටු වෙමු. ජන කොට්ඨාස තීරණය කරනු ලබන්නේ ජනවර්ගය මත ද? අදහන ආගම මත ද? කුලය මත ද? මීට පෙර අගමැතිතුමාට බලපෑ ආදි ශිෂ්‍ය සංගම් අනුව ද? කාරක සභා අවස්ථාවේ දී හැකි නම් මේ නුසුදුසු නිර්ණායක නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිමු.

ජේ.ආර්.ගේ කෑදර, දූෂිත, ලේ තැවරුණු ව්‍යවස්ථාව වෙනුවට මව්බිමේ අතීත සභ්‍යත්ව උරුමය මත පදනම් ව අනාගතය කරා අප සහෝදර ජනයා රැගෙන යන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට කැප වීමට ඔබ සියලු දෙනාට ආරාධනා කිරීමට කැමැත්තෙමු. එහි දී මූලික ව මැතිවරණ ක්‍රමය ගැන හා පළාත් සභා පිළිබඳ ව මව්බිම ඉල්ලා සිටින නිවැරදි කිරීම් සිදුකළ යුතු බව, රණවිරුවන් දිවිපුදා රැකගත් ඒකීය රාජ්‍යය දේශපාලනික ලෙස ශක්තිමත් කළ යුතු බව, සෑම ග්‍රාම සේවක කොට්ඨාසයක ම සියලු ගම්වැසියන් සාමාජිකයන් වන ග්‍රාම පාලන ව්‍යුහයක් නිර්මාණය කළ යුතු බව යුතුකමේ අපි විශ්වාස කරමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස