78 කියන්නේ 13න් ලක්මව දූෂණය කළ අවජාතක ව්‍යවස්ථාවක්! 69 ලක්ෂයක ජනවරමක් දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න! – ගෙවිඳු

October 21, 2020 at 11:06 pm | by emanisa.lk

පසුගිය පස් වසරෙහි ව්‍යවස්ථාව බෝම්බයක් කරගෙන මේ රට විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඊයේ (20) දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එකතු වෙමින් ඔහු අවධාරණය කළේ 19 වෙනි සංශෝධනය රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීම, අගමැති ධුරය ශක්තිමත් කිරීම ඔස්සේ රනිල් වික්‍රමසිංහ බලවත් කිරීම සහ අවසාන වශයෙන් ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව මගින් රට කැබලිවලට කැඩීම අරමුණු කරගෙන ඇට වූ බවය.

කෙසේ වුවද 19 නරක නිසා එය අහෝසි කර ආපසු යාමට සිදුවන ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව බෙහෙවින් අවභාවිත වී ඇති බව ගෙවිඳු කුමාරතුංග පෙන්වා දුන්නේය.

තමන්ට භාර ගැනීමට සිදුවන්නේ ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූ රටක් පමණක් නොව ව්‍යවස්ථා බෝම්බ ඇටවූ රටක් බව මැතිවරණයට පෙර ම තමන් රටට පෙන්වා දුන් බව ද හෙතෙම සිහිපත් කළේය.

ඉන්දියානු බලපෑම් මත ගෙන ආ 13 වෙනි සංශෝධනය මගින් ලක් මව දූෂණය කළ බවත් ඒ නිසා ම අවජාතක වූ ව්‍යවස්ථාවක් සමග තමන්ට ඉදිරියට යාමට සිදුව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ නිසා 19 නිවැරදි කිරීමට ආපස්සට අඩියක් තැබීමට යාමේ දී සැම තැන ම මර උගුල් ඇති බව පෙන්වා දීමට සිදුව ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

69 ලක්ෂයේ ජනවරම මගින් 78 ව්‍යවස්ථා වෙනුවට රට ගොඩ නඟන ජාතික ආර්ථිකය ගොඩනඟන නව ව්‍යවස්ථාවක් ගොඩ නැඟීමට ඉල්ලා සිටින බවත් 20 වෙනි සංශෝධනය හමුවේ මහා සංඝ රත්නය නැඟූ හඬට සවන් දීම ඔස්සේ වර්තමාන ආණ්ඩුව ඒ සඳහා සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස