78 ව්‍යවස්ථාව මර උගුලක්! මේක සංශෝධනය කරල හොඳ තැනකට යන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්! – ගෙවිඳු

October 6, 2020 at 8:25 am | by emanisa.lk

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිතුමා බලාපොරොත්තු වූයේ 19 මගින් රට අරාජිකත්වයට යෑම වළක්වාලීම බවත් 19 ගෙන ඒමෙන් බලාපොරොත්තු වූ අරමුණු දැනටමත් පරාජය කර අවසන් බවත් යුතුකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

“දැන් මේකට සංශෝධන ගණනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා ගේ අදහස වෙලා තිබුණේ 19 සංශෝධනයෙන් යම් ප්‍රමාණයකට රට අරාජික වෙන තත්ත්වයක් උදා කරන්න තිබුණු උත්සාහය පරාජය කරන්න. ඒක තමයි විසි වැනි සංශෝධනයේ බලාපොරොත්තුව. ඒ අරමුණේ ගැටලුවක් අපට නෑ. ඉතා ම හොඳ ව්‍යවස්ථාවක් ගේන්න තව කාලයක් යනවා, එතාක් 19 තියෙන වියවුල් ඉවත් කිරීම තමයි 20 ගෙන එකෙන් ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේ.

අපට අද වෙන කොට තියෙන්නේ ව්‍යාකූල වෙච්චි ව්‍යවස්ථාවක්. යුතුකම සංවිධානය විදිහට අපි මේ ව්‍යවස්ථාවේ අවුල මැතිවරණයට පෙර සිට ම රටට කිව්වා. මේක මර උගුලක් කියලයි අපිට පේන්නේ. මේක ම අතපත ගගා සංශෝධනය කරකර තව හොඳ තැනකට යන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. ඒ ව්‍යාකූලත්වයට අද අපේ රජය මුහුණ දීලා තියෙනවා. මේ සංශෝධනය අලුත් ව්‍යවස්ථාවක් ගේනවාටත් වඩා බැරෑරුම්ව හිතලා කරන්න ඕනෑ දෙයක්.

අපි අපේ විවේචනය ඉදිරිපත් කරනවා. ආණ්ඩුව ඊට දක්වන ප්‍රතිචාරය දිහා අපි බලාගෙන ඉන්නවා. අපි හිතනවා අපේ මතයට ආණ්ඩුව ඇහුම්කන් දෙනවා කියලා. අපි ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී පෙන්වා දුන් කරුණු නිසා තමයි අගමැතිතුමා මේ ගැන හොයන්න කමිටුවක් පත්කළේ.

විසි වැනි සංශෝධනයට අපි කියන සියලු දේ නිවැරැදි කරන්න බෑ කියන සත්‍යය අපි පිළිගන්නවා. තාවකාලික කටයුත්තක් වුණත් අත්‍යවශ්‍ය සංශෝධන තියෙනවා නම් ඒ සම්බන්ධව යෝජනා අගමැතිතුමාට දෙන්න කියලා අපට දැනුම් දුන්නා. අපි ඒවා දෙන්න සූදානම්.

19 සංශෝධනයේ (ජනතාව රැවටීමේ අදහසින් හෝ ගෙන ආ හොඳ වගන්ති තියෙනවා නම්, ඒවා අයින් කිරීම තේරුමක් නෑ. ඒ වගේ ම 19 සංශෝධනයෙන් ඒ අය බලාපොරොත්තු වුණු අරමුණු අපි පරාජය කරලා ඉවරයි. දැන්, ඒ නිසා ඒ ගැන කියකිය ඉන්න එකේ තේරුමක් නෑ. රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීම, රට සී සී කඩ කිරීම වගේ කරුණු අපි පරාද කරල ඉවරයි.

ඒ නිසා ඒ ගැන තව කතා කරකර ඉන්න දෙයක් නෑ. එතැනින් ඉදිරියට යන එකයි කරන්න ඕනෑ. එතෙන් දී 19 හොඳ වගන්ති තියෙනවා නම් ඒක 19 තිබුණු නිසා අපි ඒකට විරුද්ධ වෙනවා කියන එක වැරැදියි. ඊට වඩා ප්‍රගතිශීලී දේශපාලනයක් අපි කළ යුතු යි. එබඳු ගැඹුරු දේශපාලනයක් ගැන තමයි අපි පසුගිය කාලය පුරා ම කතා කළේ.”

ඔහු මෙම අදහස් දක්වා තිබුණේ පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත සමග සංවාදයකයට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස