සමගි බලේ සෝභිත පිළිරුව ළඟට ගියේ කළ පව් කමා කරගන්න ද! – ගෙවිඳු කුමාරතුංග

September 9, 2020 at 11:07 pm | by emanisa.lk

සමඟි ජන බලවේගය මාදුළුවාවේ සෝභිත හිමි පිළිරුව අබියසට පැමිණියේ කොට්ඨාශයට වග කියන මන්ත්‍රීවරයෙක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් සකසන බවට එහිමියන්ට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳ සමාව ඉල්ලන්න දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග විමසයි.

නො එසේ නම් කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන ලෙස සෝභිත හිමි කළ ඉල්ලීම ඉක්මවා යමින් එය 30ක් ලෙස නීතිගත කර වංචාකාරී ජාතික ආණ්ඩු ප්‍රයෝගයකින් කැබිනට් ඇමතිවරුන් 48ක් සහ රාජ්‍ය ඇමතිවරුන් 60ක් පත් කර සිදුකළ ප්‍රෝඩාව පිළිබඳ සමාව ගන්න දැයි ඔහු විමසා සිටියේය.

එසේත් නැත්නම් විපක්ෂ නායක ධුරයට සිය හිතවාදියෙකු වන ආර්. සම්බන්ධන් පත්කර දෙපිරිස ම එකතු වී ස්වාධීන කොමිසන් සභාවලට සිය අතකොළු පත්කර එම කොමිසන් සභා මහා විහිළුවක් බවට පත් කිරීම පිළිබඳ සමාව ඉල්ලන්න දැයි හෙතෙම වැඩි දුරටත් ප්‍රශ්න කළේය.

එවක ආණ්ඩුව රටට ලබා දුන් පොරොන්දු ඉටු කළේ නම් අද විපක්ෂය බවට පත්ව පාරවල් ගානේ උද්ඝෝෂණය කිරීමට ඔවුන්ට සිදුනොවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ වංචනිකයන්ගේ හඬට නොව ජනතා හඬට ඇහුම්කන් දී නිවැරදි අලුත් ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීම සිය පැතුම බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස