ජාතික ආරක්ෂාව සහතික කරන යෝධ පියවරක්! බුද්ධි නිලධාරීන් රකින පනත කෙටුම්පත් කෙරේ!

January 16, 2020 at 9:25 am | by emanisa.lk

ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමේදී කැපවී කි‍්‍රයා කරන බුද්ධි අංශ නිලධාරීන්ට නෛතික මුක්තිය ලබා දෙමින් නිශ්චිත බලතල සහිතව රාජකාරි කිරීම සඳහා රාජ්‍ය බුද්ධි පනත නමින් නව පනතක් කෙටුම්පත් කිරීම සඳහා නීතිපතිවරයාට බලය පැවරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන ඇමැති සම කැබිනට් ප‍්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (14 වැනිදා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් උදාර සේවාවක් ඉටු කළ බුද්ධි අංශ නිලධාරීන් පසුගිය රජය සමයේ විශාල පළිගැනීමකට මුහුණ දුන් බවද ඒ මහතා පැවසීය.

බුද්ධි අංශ නිලධාරීන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණු බව සඳහන් කළ ඇමැතිවරයා බුද්ධි අංශ නිලධාරීන්ගේ රාජකාරී වගකීම් ආරක්‍ෂා කරමින් නෛතික බලය ලබා දෙන අතරේ බුද්ධි අංශ නිසි පරිදි නියාමනය කිරීම මෙහිදී රජයේ අරමුණ බවද සඳහන් කළේය.

ලොව ඕනෑම රටක ජාතික ආරක්‍ෂාව පිළිබඳ කතා කිරීමේදී බුද්ධි අංශ වැදගත් සාධකයක් බවද, ඉදිරියේදී බුද්ධි අංශවලට එල්ල වන බලපෑම් නතර කිරීම රජයේ තවත් අරමුණක් බවද හෙතෙම පැවසීය.

සමන් ගමගේ – දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස