කොරෝනා ව්‍යාප්ති අවදානම ඉහළ යයි! අලුත් අවුරුදු දා ඇඳිරි නීති විරාමයත් අවලංගුයි!

April 12, 2020 at 12:45 am | by emanisa.lk

කොරෝනා වෛරස බලපෑමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු බලාත්මකව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 වැනිදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කරන අතර එම දිස්ත්‍රික්කවලම උදේ 6.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.

මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 6.00 ට ලිහිල් කොට සවස 4.00ට යළි පනවන බව කලින් නිවේදනය කළද දැන් එය වෙනස් කර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ යහපත වෙනුවෙනි.

එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ.

අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන මෙන් රජය තවදුරටත් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස