බැසිල් මල්ලි ඇමැතිකමින් නෙරපා පොරොන්දු ඉටු කරන්න…! – වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණින් ජනපතිට ලිපියක්…

February 19, 2022 at 5:44 pm | by emanisa.lk

2022.02.09
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ජනාධිපති කාර්යාලය
ගාලු මුවදොර,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

රටේ ඉදිරි ගමනට ජනතා සහභාගිත්වය යොමු කරවනු පිණිස

74 වන නිදහස් දින සමරුවේ දී ඔබතුමන් කළ කතාවට සාවධානව ඇහුම්කන් දුන් අපට පැහැදිලි වූයේ ඔබතුමන්ට මේ වන විට බිමේ යථාර්ථය යම් පමණකට හෝ පසක් වී ඇති බවයි.  විශේෂයෙන්ම ඔබතුමන්ට සුපුරුදු, “ඔබට කළ හැකි බවත් – ඔබ කළ බවත්” පැවසීමෙන් මිදී රටේ ඉදිරි ගමනට ජනතා සහභාගිත්වය ලබාගැනීමේ වටිනාකම ප්‍රකාශ කිරීමට පෙළඹීම මගින් ඒ් බව සනාථ වේ.

නමුත් ජනාධිපතිතුමනි,  කණගාටුවෙන් හෝ ප්‍රකාශකර සිටීමට සිදු වන්නේ මේ වන විට  බහුතර ජනතාව ඔබතුමන් ගේ වචනය කෙරෙහි තවදුරටත් කිසිදු විශ්වාසයක් නොදරන බව යි. ජනතාව පමණක් නොව රජයේ මැති ඇමැතිවරු ද, ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ද ඇතුළු බොහෝ දෙනෙකු ඒ මුලදී ඔබට ලබාදුන් වටිනාකම,  ඔබ නැති තැන දී ඔබට ලබා නොදෙන බව දැකිය හැකි වේ. 2019 ජනාධිපතිවරණයේදී ලද උත්කෘෂ්ට ජයග්‍රහණයට හේතුව ඔබතුමන් කෙරෙහි ජනතාව ඇතිකරගත් බලාපොරොත්තුවයි. ඉන් අනතුරුව රුවන්වැලි සෑ මළුවේ දිවුරුම් දීම මහනුවර මඟුල් මඩුවේදී අභිනව අමාත්‍යවරු පත් කිරීම, සුදුස්සන්ට සුදුසු තැන දෙන බැව් පැවසීම සහ තමුන්ගේ පින්තූර ප්‍රදර්ශනය නොකරන ලෙස පැවසීම ආදී විවිධ  රංගනයන්  හේතුවෙන් ජනතාවගේ බලාපොරොත්තු තව තවත් ඉහළ නැංවිනි. එහෙත් පසුව සිදුකළ කටයුතුවලදී ජනතා සහභාගිත්වය පිළිබඳවත් ජනතාව සමග සාකච්ඡාව පිළිබඳවත් වැඩි උනන්දුවක් නොමැති ව කටයුතු කිරීම, ජනතා හඬට ඇහුම්කන් නොදීම, විවිධ අමනෝඥ තීරණ ගැනීම  යනාදිය හේතුවෙන් ජනතා බලාපොරොත්තු මුළුමනින් ම කඩාවැටීමට හේතුවිය. ඒ කතාව සහ ක්‍රියාව අතර වූ විශාල වෙනස නිසා ඔබ කෙරෙහි වූ විශ්වාසය මෙතරම් පලදු වී තිබේ. එපමණක් නොව මුලු රටම අද ප්‍රපාතයට ඉතා වේගයෙන් ඇදවැටෙමින් තිබේ. දැන් දැන් විශ්වාසය බිඳ වැටීමේ තරම නිසා සුදුසුකම් ඇති පුද්ගලයන් ආණ්ඩුවේ තනතුරු පිළි නොගැනීමටත්, තවත් සමහරුන් තනතුරු  අත්හැර යෑමටත් පටන් ගෙන ඇති බව ද දැකිය හැකි වේ.

අද පවතින තත්ත්වයට පැමිණීමට හේතු වඩා විස්තරාත්මකව දැක්විය හැකි වුවත් ගත් වැරදි තීරණ සහ සිදුකළ වැරදි ක්‍රියා පැහැදිලි කළ හැකි වුවත්,  ඔබතුමාගේ නිදහස් දින කතාවේදී විවේචන නොව විසඳුම් විමසා සිටි නිසා ජනතා විශ්වාසය යම් ප්‍රමාණයකට හෝ නැවත  ලබාගෙන සාර්ථකත්වයක් කරා යාමට උත්සාහ දැරීමට ගතයුතු මූලික පියවර මෙලෙස සටහන් කරමු.

1. ඔබතුමන් කෙරෙහි ඉහළම ජනතා අප්‍රසාදය ඇතිවූ මුල්ම හේතුව වන්නේ 20 වන සංශෝධනය  ගෙන ඒමත් එය ගෙන ආ ආකාරයත් ය. මේ කැලල මකා ගැනීමට නොහැකි වුවත් යම් ප්‍රමාණයකින් හෝ නැවත පිළිසකර කර ගැනීමට ක්‍රමවේදයක් තිබේ. එම අවස්ථාවේ ඔබතුමන් වැඩිකල් නොයවාම ද්විත්ව පුරවැසියන්ට මැති ඇමති ධූර දැරීමේ අවස්ථා අවුරණ බව පැවසුවත් ජනතාව ඒ පොරොන්දු වෙන මොහොතේ දී පවා එය බොරුවකියි විශ්වාස කළේය. එහෙයින් පසුවන දිනක් පාසා ඒ බොරුව තහවුරු වෙමින් පවතී. මෙම කරුණ ව්‍යවස්ථාවට එක් කිරීම විධායකය ලෙස ඔබතුමාට කළ හැකි කරුණක් නොවුනත් අමාත්‍යවරු පත් කිරීමේ දී ද, උසස් තනතුරු සඳහා රාජ්‍ය නිලධාරීන් පත් කිරීමේ දී ද ද්විත්ව පුරවැසියන් සඳහා අවස්ථාව ලබා නොදීමෙන් මෙන්ම දැනට සිටින ද්විත්ව පුරවැසියන් එම තනතුරුවලින් ඉවත් කිරීමෙන් තමා තමාගේ වචනයේ  පිහිටා සිටින බව පෙන්වා සිටිය යුතුය. එහි මූලික පියවර ලෙස බැසිල් රාජපක්ෂ මහතාද, මිලින්ද මොරගොඩ මහතාද එම තනතුරු වලින් ඉවත් කිරීමට යෝජනා කරමු. වෙනත් හේතු මත නොව ද්විත්ව පුරවැසිභාවය මත ඔබතුමා ජනතාවට වූ පොරොන්දුව හේතුවෙන් බව පවසා එය සිදු කළ යුතුය.

2. අසුභවාදීන් රට වෙනස් නොකරන බවත් ඔවුන් සමග ගමනක් නැතිබවත් ඔබතුමා පැවසීය. විවේචන පිළිබඳ තදබල විවේචනයක්ද ඔබතුමා එහිදී ගෙන ආවේය. ධනාත්මක ලෙස ලෝකය දෙස බැලීමත් එහි වටිනාකමත් පවසන ඔබතුමා ඔබවටා රැස්ව සිටින එහෙයියන් ධනාත්මක චින්තනයකින් පෝෂණය වූවන් ලෙස වරදවා වටහා ගැනීමෙන් වැලකිය යුතු යැයි අපි තරයේ කියා සිටිමු. ඔවුන් සර්ව ශුභවාදීන් වනුයේ ඔවුනගේ වාසියට මිස වෙනයමකට නොවේ. විසඳුම් සෙවීමට මෙන්ම සොයාගත් විසඳුම් වලද පවතින දුර්වලතා හඳුනාගැනීම සඳහා අර්ථකාරී විවේචන අත්‍යවශ්‍යවේ. ඔබතුමන්ගේ තීරණ පසසමින් ඊට අනුබල දෙමින්, ඔබතුමා තව ටිකක් සැර වූවා නම් හොඳය, ඔබතුමා සැර මදිය යනාදී වශයෙන් විවිධ චාටු කතා කියමින් කටයුතු කරන අයවලුන්ට වඩා අවංක විවේචකයන් වටිනා බව ඔබතුමාට වැටහෙන විට ප්‍රමාද වැඩිවිය හැක. එහෙයින් එය ඉක්මනින් තේරුම්ගෙන අවංක අර්ථකාරී විවේචන සැබෑ ධනාත්මක පුද්ගලයින්ගේ ස්වරූපයක් බැව් වටහාගෙන ඒ සඳහා ඇහුම්කන්දීමත්, වන්දිබට්ටයන් සහ  ධනාත්මක පුද්ගලයින් වෙන්කොටහඳුනා ගැනීමටත් කටයුතු කිරීමට ද අපි ඔබතුමන්ට යෝජනා කරමු.

3. මේ මොහොතේ ජනතාවගේ සහභාගීත්වයෙහි අවශ්‍යතාව ඔබතුමන් පැහැදිළිව පෙන්වා සිටී. ඒ සම්බන්ධයෙන් අපි පූර්ණව එකඟ වෙමු. එහෙත් එම ප්‍රකාශයෙහි නිවැරදි බව ‍රටේ මහජනතාවට දැනුනත් ඔබතුමා එය හදවතින්ම පවසන බව හැඟීමට නම් එය ක්‍රියාවෙන් පෙන්විය යුතුය. ජනතාව විශ්වාස කිරීමට පෙර ජනතාවගේ සහභාගීත්වය ගැනීමට පෙර ඔබතුමන්ගේ ආණ්ඩුවේ සෙස්සන්ගේ සහභාගීත්වයෙහි අවශ්‍යතාවයවත් පෙන්වා සිටිය යුතුය. රටේ අමාත්‍යාංශ වැඩි ප්‍රමාණයක් තමුන්ගේ පවුලේ උදවිය අතරම තබාගෙන සිටිනවා වෙනුවට “පවුලේ කැබිනට් මණ්ඩලය – අඩු තරමින්අදාල දේශපාලන ධාරාවේ කැබිනට් මණ්ඩලය බවටවත් පත්කිරීමට”   කටයුතු කළ යුතුය.  ඒ් මගින් අද පවතින ප්‍රශ්න විසදිය හැකි වෙතැයි විශ්වාසයක් ඇති නොවන නමුත් අන් අයගේ සහභාගීත්වය ලබාගැනීම පිළිබද ආදර්ශයක් දීමට ඒවැනි පියවරක් හේතු වනු ඇත.

4. ඔබතුමන් සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමේ වුවමනාවක් තදින් පෙන්නුම් කිරීමේ යම් අලංකාරයක් ඇතත් මේ මොහොත වනවිට අපේ රටට අවශ්‍ය වන්නේ සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීම නොවේ. ආර්ථිකය තව දුරටත් කඩා වැටීම වලක්වා ගැනීමත් අවශ්‍යතාවට අනුකූලව ව්‍යාපෘති හඳුනාගැනීමෙන් පසුව නිශ්චිත සැලසුමකට අනුව කටයුතු කිරීමත්ය. සෞභාග්‍යයේ දැක්ම නිශ්චිත සැලැස්මක් නොවන අතර එය පවතින වත්මන් අර්බුද තත්වයන්ට පෙරාතුව බිහිවූ ප්‍රකාශනයකි. අද මුහුණදී තිබෙන තත්වය හමුවේ සෞභාග්‍යයේ දැක්මට අනුව කටයුතු කිරීමට සැලැසුම් කිරීම කිසිලෙසකත් නොගැලපේ. ඒබැවින් ප්‍රායෝගිකව අදට ගැලපෙන සැලසුම් සහිතව කටයුතු කරන ලෙසත් මේ මොහොතේ අනවශ්‍ය සමාජ ප්‍රති සංස්කරණයන් සඳහා යොමු නොවන ලෙසටත් යෝජනා කරමු.

ඔබතුමා ප්‍රකාශකළ අයුරෙන්ම යම් කැපකිරීම් ප්‍රමාණයක් සහිතව, ඉහත සඳහන් පරිදි ක්‍රියාවෙන්ම තම උවමනාව පෙන්වුවහොත් පමණක් ඔබතුමන් ප්‍රකාශකළ ජනතා සහභාගීත්වය දිනා ගැනීමට හැකිවනු ඇත. එහෙත් දැනට සිදුවෙමින් පවතින්නේ සෞභාග්‍යයේ දැක්ම ආදිය කතා කරමින්, ඊටත් වඩා ප්‍රාථමික වූ, ලඟ එන ඡන්දයක් ඉලක්ක කර සිදුකරන වැඩ ලක්ෂයක් කිරීම වැනි කටයුතු සිදුවීමයි. ඒවිට, කතාවට පමණක් සීමාවූ, ඡන්දය පමණක් ඉලක්ක කරගත් සහ රටෙහි අභිවෘද්ධිය මූණිච්ඡාවට පමණක් පතන සාමාන්‍ය දේශපාලකයෙකුට වඩා වෙනස් වූ මුහුණුවරක් මහ ජනතාවට ඔබතුමාගෙන් විද්‍යමාන නොවේ.

මානයෙන් තොරව හා උපේක්ෂාවෙන් යුතුව මේ යෝජනාවන් වටහාගැනීමට ඔබතුමන්ට ශක්තිය ඇතැයි අපි විශ්වාස කරමු. ඉහත සියලු යෝජනා ඉදිරිපත් කරණුයේ රටේ අභිවෘද්ධිය පිණිසම හෙයින් වෙනත් කිසිදු හේතුවක් නොසලකා ඔබතුමන් විසින් ඒම යෝජනා පැහැදිළිව ක්‍රියාත්මක කරමින් ජනතා විශ්වාසයෙන් යුතුව නිවැරදිව කටයුතු කිරීමට ඉදිරි වසර කීපයතුලවත් ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු.

මේ වගට හිතවත්
කපිල රේණුක පෙරේරා
ප්‍රධාන ලේකම්
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස