⁣රනිල් ගේම අතනාරියි! සජිත් ජනපති කරන බදුලු රැලිය තහනම්!

August 9, 2019 at 3:50 pm | by emanisa.lk

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරමින් ලබන සඳුදා (12) බදුල්ලේදී පැවැත්වීමට නියමිත මහජන රැලිය නැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ රැලිය පැවැත්වීම සඳහා පක්ෂ ලේකම්වරයාගෙන් අනුමැතිය ලබාගෙන නොතිබීමය.

මෙම රැලියේ සංවිධාන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සිදුකරනු ලබයි. එහෙත් රැලිය සංවිධානය කිරීම සඳහා පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් මෙතෙක් අවසර ලබාගෙන නොමැති බව පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාමල් සෙනරත් පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීම්, වෙනත් රැලි සහ රැස්වීම් සංවිධානය කිරීමේදී පක්ෂ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව සියලුම ආසන සංවිධායකවරු දැනුවත් කර තිබේ. එලෙස දැනුවත් කර තිබියදී මෙම රැලිය සඳහා අවසර ලබා නොගැනීම පිළිබඳව පක්ෂ මූලස්ථානයේ අවධානය යොමු වී ඇත.

කුමන බාධක පැමිණියත් මෙම රැලිය අනිවාර්යයෙන්ම පැවැත්වීමට සජිත් ප්‍රේමදාස පාර්ශ්වය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කිරීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකිරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකම දිනකදී කැඳවන ලෙස ඉල්ලා සජිත් ප්‍රේමදාස පාර්ශ්වය පක්ෂ නායකත්වය වෙත යොමු කරන ලිපියට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමද ආරම්භ විය. එම අත්සන් සහිත ලිපිය මෙම සති අන්තයේදී පක්ෂ නායකත්වය වෙත යොමු කිරීමට තීරණය කර ඇත. මෙම ලිපිය ලැබුණු පසු සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ තෝරා ගත් අමාත්‍යවරුන් පිරිසක් අරලියගහ මන්දිරයට වැනිදා කැඳවා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස එකඟ වී ඇති මොහොතක එම පෙරමුණ ස්ථාපිත කිරීමට මුල් නායකයින් සිව් දෙනකු 7 වැනිදා රාත්‍රියේ රහසිගත සාකච්ඡාවක්ද පවත්වා තිබේ. අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රවි කරුණානායක චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. පැය දෙකක පමණ කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි.

කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මහ ලේකම් ධුරයට යෝජනා කර ඇති අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර ලබන සතියේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සමග පක්ෂ නායකත්වය 09දා වෙන වෙනම සාකච්ඡාවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. රජයට සම්බන්ධ පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක්ද අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එම සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍ය චම්පික රණවක සාකච්ඡාව නිමා වීමට ප්‍රථම පිටත්ව ගියේය.

– aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස