විධායක ජනාධිපතිකම අහෝසි කර බලය බෙදන්න අපි කැපවී ඉන්නවා! අලුත් ව්‍යවස්ථාවක් හදන්න අපිට බහුතර බලයක් දෙන්න! – අගමැති යාපනේදී කියයි..

September 9, 2019 at 8:04 am | by emanisa.lk

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මීළඟ පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගැනීමට ජනවරම ලබාදෙන ලෙස ඉල්ලා සිටි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඊයේ (08) යාපනේ දී ඉල්ලා සිටියේය. එලෙස සම්මත කර ගන්නා ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර බලය විමධ්‍යගත කරමින් දේශපාලන විසඳුමක් ලබාදෙන බව ද හෙතෙම පැවසීය.

නව ව්‍යවස්ථාව ගෙන ඒමට වත්මන් ආණ්ඩුව පසුගිය කාලය තුළ පියවර ගණනාවක් ගත්ත ද ආණ්ඩුවට බහුතරයක් නොමැතිවීම නිසා ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වූ බව වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ යාපනය, කොටුවේ පැවත්වෙන ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ ප‍්‍රදර්ශනය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව එහි පැවති උත්සවයට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

2015 වසරේ සිට මෙම ආණ්ඩුව පියවර ගණනාවක් ගත්තද පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය බහුතරය අපට නොමැතිවීම නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නොහැකි වුණා. නව ව්‍යවස්ථාව තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා බලය බෙදා හැරීම යන වැදගත් කරුණු දෙක අන්තර්ගත වෙනවා. උතුරේ ජනතාවට රටේ සංවර්ධනයට සහභාගි වීමට හා තමන්ගේ එදිනෙදා පාලනය සඳහා පළාත් සභා වෙත පැවරෙන බලතල තවත් වැඩි කිරීමට අපි සාකචඡා කර තිබෙනවා.

නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවස්ථාව නොලැබුණත් බලය බෙදාහැරීම පිළිබඳව අපේ එකඟත්වය ඇතිවී තිබෙනවා. ව්‍යවස්ථාදායක මණ්ඩලය කැඳවා සාකච්ඡා කර එම වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය වශයෙන් මෙම එකඟත්වය පිළිගැනීමට අපි තීරණය කළා. සභාපතිවරයා වශයෙන් මම සියලූ දෙනාම එකඟ කරගෙන මෙම වාර්තාව ඉදිරිපත් කළා.

එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අපේ පක්‍ෂය ඇතුළු තවත් පක්‍ෂ කිහිපයක් කැපවී සිටිනවා. මීළඟ පාර්ලිමේන්තුවේ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වරම ඔබෙන් ඉල්ලා සිටිනවා. එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව අපට ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. එම දේශපාලන විසඳුම ලබාදී මීටත් වඩා එක්සත්ව ඉදිරියට යෑමට හැකියාව ලැබෙන බවට මා තුළ විශ්වාසයක් තිබෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස