කුඩු අල්ලන්න පුළුවන් වුණේ 19 වෙනි සංශෝධනය නිසායි! ඩුබායි ලොක්කන්ට මදූෂ් අල්ලන්න කීවේ මමයි! – අගමැති

February 26, 2019 at 6:16 am | by admin

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන පොලිස් කොමිසම ඇති කිරීමෙන් රට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

බුලත්සිංහල, ඈගල්ඔය ඉදිකළ බහුකාර්ය ගොඩනැඟිල්ල, සති පොළ හා ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයකට අද(25) පස්වරුවේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද පැවසීය.

“අපේ රජය යටතේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩසටහන ශක්තිමත් වුණා. 19 වන සංශෝධනය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට අවශ්‍ය ස්වාධීනත්වය පොලිසියට ලැබුණා. කවුරුන් හෝ ස්වාධීන කොමිසමට පහර ගසනවා නම් ඉන් සිදුවන්නේ මත්ද්‍රව්‍ය මර්දනය අඩපන වීමයි.

මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන අඩපන කරනවාද, එසේත් නොමැති නම් අපේ රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට සහයෝගය ලබාදෙනවා ද යන්න ජනතාව කල්පනා කළ යුතු කාලය දැන් එළැඹ තිබෙනවා. මත්ද්‍රව්‍ය වැටලීම්වලින් තුන් ගුණයක්ම වාර්තා වුණේ 2018 වසරේ සිට 2019 වසරේ පෙබරවාරි දක්වායි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමැතිවරයා සමඟ පැවැති හමුවේ දී මධුෂ්ගේ ගැටලුව පිළිබඳව අපි ඔවුන් දැනුම්වත් කළා. ඒ පිළිබඳව රහසේ කටයුතු කළා. මධුෂ්ව අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ එම නිසයි. ඒ අනුව අපේ රජය යටතේ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙන්නට පටන් ගෙන තිබෙනවා.

නමුත් මෙම තත්ත්වය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට නම් තවදුරටත් පොලිසියේ සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස