කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින ක්‍රියා කළහ.
එහි ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් මහතා කියා සිටියේ ප්‍රදේශයේ දරුවන්ගේ පුස්තකාලයක් සඳහා වෙන් කළ ඉඩම් කැබැල්ලක ගමේ අයකු විසින් විදේශීය සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදි කළ බවය.
ඒ අනුව වර්තමානයේ රටේ පවතින තත්ත්වය නිසා තවත් පල්ලියක අවශ්‍යතාවක් නොවන නිසා තම පල්ලියේ කාරක සභාව එක්ව මෙම පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.
පසුව මෙම මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන ඉදිකොට තිබූ පල්ලියේ කොටස් කඩා බිඳ දමන ආකාරය ද මුදල් ආධාර ලබා දුන් අයගේ නම් සහිත අරාබි අකුරුවලින් ලියවී තිබු පළකයද කඩා දමා ඇති ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි.
මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමඟ කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ තමන්ට මෙම තත්ත්වය නිසා සමාජයේ දැඩි හානිදායක තත්ත්වයකට පත්ව තිබෙන බවය.
ඒ නිසා තම ගම්මානයේ සියලු දෙනාගේම කැමැත්ත සාකච්ඡා කොට නැවතත් මෙම ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට අවැසි නිසා මෙම විදේශ රටවලින් ඉදිකළ පල්ලිය කඩා දැමීමට තමන් හා ජනතාව තීරණය කළ බවද ඔවුහු පැවසුහ.