බුදු පිළිමයක් තැනීමට රේගුවෙන් රත්තරන් දුන් නිලධාරීන්ට පෙර උපදෙස් දුන් මහා සංඝ රත්නය අත්අඩංගුවට ගන්න! – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

September 23, 2019 at 8:34 pm | by emanisa.lk

සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා බුදු පිළිමයක් නිර්මාණය කිරීමට රේගුව භාරයේ පැවති රත්තරන් කිලෝ අටක් නිදහස් කිරීම අපරාධයක් ලෙස සලකා අහිංසක රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පෙර ඒ සඳහා උපදෙස් ලබා දුන් තමා අත්අඩංගුවට ගන්නා ලෙස මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රේගුවට ලැබුණු රත්තරන් කිලෝ 45 කින් කිලෝ 8ක් සඳහිරු සෑයේ රත‍්‍තරං බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කර තැන්පත් කිරීම සඳහා “අගය කළ යුතු රාජ්‍ය කර්තව්‍යයන් සඳහා මුදාහැරීමේ පදනම” මත, නිසියාකාරව රාජ්‍ය ක්‍රමවේද භාවිත කරමින් ලබාගත් බවත් එහිමියන් පැවසූහ.

එම පටිපාටිය මත පසුගිය කාලයේ ඇමතිවරයෙක් පන්සල්වලට ඇත් දළ බෙදා දුන් බවත් රේගුවෙන් අත්අඩංගුවට ගත් සුදුහඳුන් දළදා මාලිගාවට ලබා දුන් බවත් එහිමියන් සඳහන් කළහ.

මෙම රත්‍රං තනි පුද්ගලයෙකුට ගිය දෙයක් නොවන බවත් රාජපක්ෂ පවුලේ බලවතකුගේ බලකිරීම මත රත්‍තරන් මුදා හැරීමට සිදුවූ බවට ප්‍රකාශ කරන ලෙස රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ දෙපලකට බල කිරීමක් සිදුකර ඇති බවත් මේ සඳහා බලපෑම් කළේ ගෝඨාභය රාජපක්ෂ බවට පවසන ලෙස අපරාධ විමර්ශන අංශ ප්‍රශ්න කිරීමේදී පවසා ඇති බවත් ඒ හිමියෝ පැවසුහ.

මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේ, එල්ලාවල මේධානන්ද හිමි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එකතුව සජීවී විකාශයක් අතරතුර සඳහිරු සෑයේ තැන්පත් කළ බවත් මේ රන් පිළිම වහන්සේ තැන්පත් කිරීම වරදක් සේ සලකා අහිංසක රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සුදානම් වෙනවා නම් ඊට පෙර මෙම කාර්ය සඳහා උපදෙස් ලබා දුන් තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස අභයතිස්ස හිමියෝ පැවසුහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස