බද්යුදීන් සහ හිස්බුල්ලා තාවකාලිකව ඉවත් කර ආණ්ඩුව රැකගන්නා සැලසුමක්!

May 13, 2019 at 10:04 am | by admin

මුස්ලිම් ආගමික අන්තවාදයේ පැවැත්ම වෙනුවෙන් විවිධාකාරයෙන් පහසුකම් සැපයූ බවට බරපතළ චෝදනා එල්ල වෙමින් පවතින අමාත්‍ය රිසාද් බදූර්දීන් සහ ආණ්ඩුකාර ඒ. එල්. එම්. හිස්බුල්ලා තාවකාලිකව හෝ එම තනතරුවලින් ඉවත් කරන්නැයි, ජනාධිපතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

මේ වන විට රිසාද් බදියුදීන් මහතාද එජාපෙ ආණ්ඩුවේ, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරය දරන අතර ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ජනාධිපතිවරයාගේ ශ්‍රීලනිප පාර්ශ්වය නියෝජනය කරමින් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධුරය දරයි.

ශ්‍රීලනිපය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ එස්. බී. දිසානායක මන්ත්‍රීවරයා, අමාත්‍ය රිසාද් බදියුදීන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් සිටින අතර මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු එජාප පසුපෙළ පිරිසක් ආණ්ඩුකාර හිස්බුල්ලාට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටිති.

කොළඹ ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඞ් හෝටල්වල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ දෙදෙනකුගේ පියා වන දෙමටගොඩ යුසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම් පවුල සමග පැවති විවිධාකාර සබඳතා පිළිබඳව කියැවෙන කරුණු බදූර්දීන් අමාත්‍යවරයාට එල්ල වී ඇති බරපතළම චෝදනාව වන අතර මඩකලපුවේ ආරම්භ කළ අධ්‍යාපන ආයතනය, අන්තවාදය පෝෂණය කරන්නක් බවට කියැවෙන කරුණු හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට එල්ල වන බරපතළම චෝදනාව වේ.

රිසාද් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමටද ඒකාබද්ධ විපක්ෂය තුළ සාකච්ඡා ආරම්භ වී ඇති අතර අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනා එජාපෙ ආණ්ඩුවට ප්‍රබල ලෙස බලපා ඇති බව ඇමතිවරයෙක් රාවයට පැවසීය.

රාවය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස