පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි! – කාදිනල්තුමා

April 21, 2020 at 6:50 pm | by emanisa.lk

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විදෙස් රටවල බුද්ධි අංශ අනතුරු අඟවා තිබියදීත් ඒවා නොසලකා හැරි එවකට සේනාධිනායකයාගේ සිට ඊට වගකිව යුතු සියලු පාර්ශව, නීතිය ඉදිරියට රැගෙන ආ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, අද දවසේ දී වසරකට පෙර සිදුවු මහා විනාශය මතකයට නැගෙන බවයි.

මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බවත්, වසරක් ගෙවී ඇතත් මෙම ප්‍රහාරයේ සුල මුල තවමත් හොයා ගැනීමට නොහැකි වී ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

වචනයකින් හෝ මෙම අපරාධය සිදු කිරීමට සහය දුන් බොහෝ පිරිසක් ඇති බවත් ඔවුන් කවුරුන්ද යන්න සොයා ගැනීම යුතුකමක් වන බවත් ඔවුන්ගේ තරාතිරම හෝ වෙනත් කිසිදු කරුණක් ගැන තැකීමක් කළ යුතු නැතැයි ද කාදිනල් හිමියන් මෙහිදී පැවසීය.

ප්‍රහාරය පිළිබඳව හෝඩුවාවක් ලැබී තිබිය දී පවා එය අතපසු කළ සේනාධිනායකයාගේ සිට අන්තිමයා දක්වා වු වගකිව යුතු සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒම වගකීමක් වන බවද උන්වහන්සේ කියා සිටියේය.

මෙවැනි කරුණු සමඟ සෙල්ලම් කිරීමට කිසිදු නායකයෙකුට හෝ කිසිදු ජන කොටසකට ඉඩක් තැබිය නොහැකි බවද පැවසු උන්වහන්සේ, වත්මන් ජනපති මඟින් සිදු කරන විමර්ශනය ඉතා ශක්තිමත්ව කළ යුතු බව පවසන බවද පැවසීය.

මානව හිමිකම යනු පළමුවෙන් ජීවිතය පිළිබඳ හිමිකම බවත්, ඇතැමුන් 300ක ගේ පමණ ජීවිත අහිමිව තිබියදී මානව හිමිකම් ගැන කථා කිරීම සුදුසු නොවන බවත් පැවසු උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා තම දුක බෙදා ගැනීමට එක්වීම ගැන විශේෂයෙන් ස්තූති වන්න වන බවද කියා සිටියේය.

බෞද්ධ ජාතිකයින්ගෙන් ලද සහෝදරත්වය අගය කරන බවද පැවසු උන්වහන්සේ සහෝදරත්වයෙන් ලංකාව ගොඩ නඟා ගත යුතු බවත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස