පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තාට එරෙහිව හිටපු ජනපති සහ අගමැතිට එරෙහිව පෙත්සම්! ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම යහපාලන නීතිපති ප්‍රතික්ෂේප කරයි!

January 20, 2020 at 2:20 pm | by emanisa.lk

ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තවදුරටත් නීතිපතිවරයා පෙනී නොසිටින බවට අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

මේ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමීල් අධිකරණයට දන්වා සිටියාය.

එසේම වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දුන්නේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු දෙදෙනෙක් අද (20) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අනුව විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 6 වැනි දා ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පසුව පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය මැයි මස 12, 13 සහ 14 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. නීතිපති දප්පුල ලිවේරා එම ධුරයට පත් කළේ ද පෙර ආණ්ඩුවෙන්ම වීම විශේෂත්වයකි.

මෙම පෙත්සම් අද (20) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස