පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ වාර්තාව ජනපතිට!

June 10, 2019 at 5:12 pm | by emanisa.lk

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රහාරයට පසුදින පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනපති වෙත බාර දී තිබේ.

ඒ අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ය.අදියර දෙකකින් සමන්විත වූ එම පරික්ෂණ කටයුතුවල අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර පරික්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ජීවිත 250කට අධික ප්‍රමාණයක් විනාශ කළ මෙම බරපතළ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීම මෙම පරීක්ෂණ මණ්ඩලයට පැවරුණු රාජකාරියයි.

මෙම පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත නිසා පාර්ලිමේන්තු කාරක සභාව තව දුරටත් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපතිවරයා පසුගිය කැබිනට් හමුවේ දී ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස