ජනාධිපති යන්න බෑ කියූ රනිල්ගේ පොලිස්පති නිවාඩු යවා වැඩබලන පොලිස්පතිවරයෙක් ගෙනෙයි!

April 29, 2019 at 2:14 pm | by admin

පොලිස්පති පූජිත ජයසූන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

පසුගිය 21 වෙනි ඉරිදා පාස්කු දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ දැනුම්වත් කර තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට ජනාධිපතිවරයා චෝදනා කරන්නේ පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාටය. ඒ අනුව දෙදෙනාටම ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් අතර ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස් වුවද පොලිස්පතිවරයා ඒ සඳහා යහපත් ප්‍රතිචාර දක්වා නොමැත.

ජනාධිපතිවරයා හමු වී ඉල්ලා අස්වීමට කැමති වූ පොලිස්පතිවරයා අනතුරුව කතානායක සහ අගමැති හමු වී සිය තීන්දුව වෙනස් කරගත් බව වාර්තා වෙයි. එජාප මැති ඇමතිවරු ද පොලිස්පතිවරයා ආරක්ෂා කරන ස්ථාවරයක සිට ප්‍රකාශ නිකුත් කළේය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පතිවරයා ඉවත් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවට නිසා මේ ආකාරයට අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළේ යැයි සිතිය හැකිය.

පූජිත ජයසුන්දර එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට සැලසුම් කරන බව ද ජනාධිපතිවරයා යටතේ පවතින නීතිය හා සාමය අමාත්‍යංශය එජාපයට ලබා ගැනීමේ අරමුණින් මෙම ප්‍රහාරයට සිදුවන්නට හිතාමතා කටයුතු කළ බවට ද චෝදනා එල්ල වෙයි. ඔහු පොලිස්පති ධුරයට පත් කළේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය සහිතවය.

වැඩ බලන පොලිස්පති ධුරට පත් වූ සී.ඩී.වික්‍රමරත්න පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේය. පොලිස්පති පූජිත ජයසුන්දර විදෙස්ගත වූ අවස්ථාවල වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව