පළාත් සභා වනසන්න රාජපක්ෂලා සූදානම්! බලය බෙදන්න පක්ෂ අය වහා පෙරට එන්න! – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

September 9, 2020 at 12:09 pm | by emanisa.lk

පළාත් සභා අහෝසි නොකර ඒ වෙත ලබා දෙන 75%ක් පමණ වන ප්‍රතිපාදන නවතා දමා වනසා දැමීමට ආණ්ඩුව සූදානම් වන බවට යහපාලන ආණ්ඩුව සමයේ ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කළ කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් චෝදනා කරයි.

ඔහු සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මෙසේය.

පළාත් සභා අහෝසි කිරීමට පක්ෂවත්, විපක්ෂවත් රට තුල සංවාදයක් ගොඩ නැගෙමින් තිබෙනවා. මේ මතවාදී ගැටුමේ අවසානය, පළාත් සභා අහෝසි නොකර, පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම අතිශයින් සරල කටයුත්තකි. මාගේ අදහස නම් රජය ගමන් කරමින් සිටින්නේ ඒ තෝරා ගැනීම වෙත බවය.

20 සංශෝධනය මගින් මැතිවරණ කොමිසම අක්‍රීය කරන ආකාරයටම, විගණන කොමිසම අක්‍රීය කරන ආකාරයටම පළාත් සභා ද එල රහිත කිරීම සරළ වැඩකි. මෙය යක්ෂයාගේ උපදේශයක් ලෙස පෙනී යා හැකිය. නමුත්, බලය බෙදීම ගැන උනන්දුවක් දක්වන්නන්, පළාත් සභා වෙනුවෙන් පෙනී සිටින්නන්, මෙවැනි තත්ත්වයට මුහුණ දීමට ප්‍රතිපත්තිමය සංවාදයක් ඇරඹීම වැදගත් ය.

පළාත් සභාවක වැය ඇස්තමේන්තුව හා ප්‍රමාණයන්

පළාත් සභාවක අයවැයෙන් වැඩි ම මුදලක් වැය වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍ය විෂයන් සඳහා ය. සාමාන්‍යයෙන් අධ්‍යාපනයට සමස්ත අයවැයෙන් 50% ක් ද, සෞඛ්‍යයට 25% ක් වැය වන්නේ යැයි සැලකීය හැකිය.

ඉන්දියාව කෝප ගන්වමින් 13 අහෝසි නොකර, පළාත් සභා අකර්මන්‍ය නොකර පළාත් සභාව බල රහිත කිරීමට අධ්‍යාපනය හා සෞඛ්‍ය මධ්‍යම රජයට පවරා ගැනීම පමණක්ම ප්‍රමාණවත් ය. වියදයම් කැපූ පළාත් සභාවක් තවදුරටත් මහ ඇමති, ඇමති මණ්ඩලයක්, මන්ත්‍රීවරුන් හා කාර්ය මණ්ඩලයක් සහිතව පවත්වාගෙන යා හැකිය. හරියට නාම මාත්‍රික ව්‍යවස්ථා සභාවක්, කොමිෂන් සභාවක් තියෙන්නට හැර බලය ජනාධිපතිවරයා අතට ගත්තා සේ ය.

උදාහරණ ලෙස දකුණු පළාතේ සමස්ත අයවැයෙන් 75% ක් වෙන් වන්නේ සෞඛ්‍ය හා අධ්‍යාපනය විෂයන්ට ය. එය මධ්‍යම රජයේ විෂයන් ලෙස වෙනස් කිරිම තුළින් පමණක් පළාත් සභාව කිසිදු වැඩකට නැති බෝඩ් ලෑල්ලක් බවට පත් කළ හැකිය. එහි ප්‍රතිඑලය ග්‍රාමීය සෞඛ්‍ය හා අධ්‍යාපනයට අතිශයින් විනාශකාරී ලෙස බලපානු ඇත්තේය.

අපි අනාගතයේ මේ රජය සිදු කිරීමට සුදානම්වන ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා මුහුණදීමට කොතරම් දැනුවත් ද? සුදානම් ද? බලසම්පන්න ද? යන්න විමසා බැලිය යුතුව ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස