පළාත් සභා නවයකට වෙන වෙනම නීති හදන්න දීලා ‘එක රටක් එක නීතියක්’ ගැන පම්පෝරි ගහලා මොකටද? – ගෙවිඳු

September 2, 2020 at 7:41 pm | by emanisa.lk

මධ්‍යම ආණ්ඩුවට අමතරව පළාත් සභා නවයක් නීති සම්පාදනය කරන පසුබිමක එක රටක් එක නීතියක් පිළිබඳ කතා කොට පලක් ඇද්දැයි යුතුකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ප්‍රශ්න කරයි.

19 වෙනි සංශෝධනය අහෝසි කිරීමෙන් නොනැවතී 13 සහ 16 වෙනි බෙදුම්වාදය වෙනුවෙන් ලබා දුන් කප්පම් සංශෝධන අහෝසි කෙරෙන යුග යුග පනතින නව ව්‍යවස්ථාවක් 2/3ක බලයක් ලබා දුන් ජනතාවගේ අපේක්ෂාව බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

පසුගියදා මහනුවර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය මගින් පැවැත් වූ සම්මන්ත්‍රණයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“එක රටක් එක නීතියක් කියන සංකල්පය ගෝඨාභය ජනාධිපතිතුමාගේ එක ප්‍රධාන සටන් පාඨයක්. නීති සම්පාදනය කරන පළාත් සභා 09ක් තියාගෙන එක නීතියක් බලාත්මක වන රටක් හදන්නේ කොහොමද?

ඒක දිගට ම තබා ගැනීම භයානක නැද්ද? එජාප දෙමළ සන්ධාන ජවිපෙ දුර්දාන්ත පාලනය නිසා පළාත් සභා අක්‍රීය නිසා අද ගැටළුවක් නැති බව ඇත්ත. එහෙම නොවුණා නම් 13 වෙනි සංශෝධනය භයානක නැද්ද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ත්‍රස්තවාදය පරාජය කළ අවස්ථාවේ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විශිෂ්ට නායකත්වය යටතේ ලැබුණු අවස්ථා දෙක හැරුණු කොට මේ මැතිවරණ ක්‍රමය යටතේ අපට සාමාන්‍ය බහුතරය සහිත පාර්ලිමේන්තුවක් පවා නිර්මාණය කරගන්න බැරි වුණා.

ඒ සෑම අවස්ථාවක ප්‍රධාන පක්ෂවලට වර්ගවාදීන්ට කප්පම් දෙමින් ආණ්ඩු කරන්න සිද්ධ වුණා. මේවා අපි බිය විය යුතු කරුණු නෙමෙයි ද? ඒ නිසා අපේ මෘතූභූමිය තීරණාත්මක මංසන්දියක තිබෙන විට අපේ අතීතයට සහ වර්තමානයට අවංක වෙලා උදාර හෙට දවසක් වෙනුවෙන් කැපවෙන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස