2014ට සාපේක්ෂව 2018 බදු බර දෙගුණයක් වෙලා! ආණ්ඩුව බදු දෙගුණ කරලා පම්පෝරිත් ගහනවා! – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

August 29, 2019 at 8:55 am | by emanisa.lk

වර්ෂ 2014 සිට 2018 දක්වා කාලයේදී දරුණු ලෙස බදු වැඩිවීමක් සිදුව ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (28) බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වර්ෂයේදී (2019) රුපියල් බිලියන 2077ක් බදු ලෙස අය කර ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවද, එය 2014 දී පැවති රුපියල් බිලියන 1050ක බදු ප‍්‍රමාණයට සාපේක්ෂව දෙගුණයක් බවද ඔහු පෙන්වා දෙයි.

වර්ෂ 2014 සිට 2018 වර්ෂය දක්වා ආදායම් බදු රු. බිලියන 198 සිට 310 දක්වා ද, භාණ්ඩ සහ සේවා බදු රු. බිලියන 616 සිට 1,062 දක්වා ද, විදේශ වෙළෙඳාම් බදු රු. බිලියන 236 සිට 340 දක්වා සහ මුළු බදු ප‍්‍රමාණය රු. බිලියන 1,050 සිට 1,712 දක්වා ඉහළ ගොස් තිබෙන බවද පැවසූ හිටපු මහ බැංකු අධිපතිවරයා මේ ආණ්ඩුව ජනතාවගෙන් බදු අයකරගන්නවා පමණක් නොව, බදු ආදායම වැඩි කරගත්තා යයි පම්පෝරි ගසන බවද කීවේය.

ඉදිරි පොදුජන පෙරමුණු රජයකින් බැඳුම්කර මගඩිය සඳහා මහජනයාට විශ්වාස කළ හැකි පූර්ණ විමර්ශනයක් කිරීමට තමාට කළ හැකි බලපෑම සහ දායකත්වය ලබා දෙන බව සඳහන් කළ කබ්රාල් එහිදී එම මගඩියට අණ දුන් සහ ඒ සඳහා බැඳුම්කර නිකුත් කිරීමේ ක‍්‍රමවේදය වෙනස් කිරීමට උපදෙස් දුන් අයද නීතිය ඉදිරියට පමුණුවාලිය යුතු බව කීය.

“වර්ෂ 2010 සිට 2014 කාලයේදී ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය සියයට 6.8 ක් පමණ වූ අතර වසර 2015 සිට 2018 දක්වා කාලයේදී සාමාන්‍ය වර්ධන වේගය වසරකට සියයට 4 දක්වා පහත වැටී තිබෙනවා. ඒ අතරම, 2016 වර්ධනය සියයට 4.5 ක් ලෙස වාර්තා කළද, එය ව්‍යාජ ආකාරයට ගණනය කර ඇති නිසා සත්‍ය වර්ධන වේගය 2.2 ක් පමණයි. 2018 දී, වර්ධන වේගය සියයට 3.2 ක් ලෙස වාර්තා කළද, සත්‍ය වර්ධනය සියයට 3 කට අඩු බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.” යැයි ද හිටපු මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස