යහපාලන ආණ්ඩුව උතුරේ ඡන්ද මල්ල ගන්න විපක්ෂ නායක නිල නිවස සම්බන්ධන්ට අල්ලසට දීලා! 

December 30, 2019 at 10:34 am | by emanisa.lk

හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්කල් පාවිච්චි කිරීම සඳහා විපක්ෂ නායක නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් විශේෂ කැබිනට් තීන්දුවක් මගින් ලබාදී ඇතැයි හෙළි වී තිබේ.

කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි අක්කර එකහමාරක පමණ භූමි භාගයක පිහිටි බී 12 නිල නිවස, විපක්ෂ නායක නිල නිවස ලෙස වෙන්කර ඇති අතර ආර්. සම්බන්ධන් මේ වන විටත් එම නිල නිවසේ පදිංචිව සිටී.

එහි නඩත්තු කටයුතු සඳහා බංගලා භාරකරුවකු උද්‍යාන කරුවන් දෙදෙනකු, අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනෙකු වශයෙන් සේවකයන් පස් දෙනකු යොදවනු ලැබ සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම හා නිල නිවස නඩත්තුව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබේ.

2015 අගෝස්තු සම්බන්ධන් විපක්ෂ නායක ධුරයට පත්වූ අවස්ථාවේ මෙම නිල නිවස ලබා දී ඇති අතර 2017 වසරේ එහි අලුත්වැඩියා කටයුතු සඳහා රු. ලක්ෂ 350ක් වැය කර තිබේ.

සම්බන්ධන් මහතාට පෞද්ගලික වන සේ මෙම නිල නිවස ලබාදී ඇති අතර ඊට අදාළ විශේෂ කැබිනට් සංදේශය එවකට ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයාවූ ගයන්ත කරුණාතිලක මහතා විසින් 2019 පෙබරවාරි මස 26 වැනිදා මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.

2018 ඔක්තෝබර් 26 මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්ව දින 52 ආණ්ඩු කාලයෙන් පසු ඔහු විපක්ෂ නායක ධුරයට පත්වුවද විපක්ෂ නායක නිල නිවස දිගටම පාවිච්චි කර ඇත්තේ දෙමළ සන්ධාන නායකයාය.

2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව සම්පන්ධන් මහතා විපක්ෂ නායකධුරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවස ලබාදී ඇති අතර 2017 වසරේදී එහි අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 350 ක මුදලක්ද රජයෙන් වැයකර ඇත.

නිල නිවසේ ජල බිල්පත් විදුලි බිල්පත් දුරකථන බිල්පත් හා නඩත්තු වියදම් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් දරනු ලබන අතර මෙම නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතින නමුත් එම අමාත්‍යාංශයෙන් කිසිදු විමසීමක් කර නැතැයිද දැන ගන්නට ඇත.

එම විශේෂ කැබිනට් තීන්දුව ප්‍රකාරව සම්බන්ධන් මහතාට KX-2330 සහ KO-6339 යන අංක දරන මෝටර් රථ දෙකද වෙන්කර ඇති අතර ඒ සඳහා මසකට ඉන්ධන ලීටර් 600 බැගින්ද ලබාදෙනු ඇත.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරින්දෑවරුන්ට රජයෙන් නිල නිවසක් ලබාදෙන නමුත් හිටපු විපක්ෂ නායකවරුන්ට හෝ පක්ෂ නායකයන්ට රජයෙන් නිල නිවාස ලබාදීමක් මෙතෙක් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිදුවී නැත.

ආර්. සම්බන්ධන් රටේ සංහිඳියාව ගොඩනැඟීම සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් ඔහුට පෞද්ගලික වන සේ මෙම පහසුකම් සලසන ලෙස කතානායක කරූ ජයසූරිය විසින් එවක අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන් ඉල්ලා ඇති බව ද අදාළ කැබිනට් මණ්ඩල යෝජනාවේ සඳහන් වෙයි.

මේ පිළිබඳ එළඹෙන කැබිනට් මණ්ඩල හමුවේ දී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස