වාර්ෂිකව විදෙස් රටවලට ඇදී යන බිලියන ගණනක් ඉතිරි වෙයි! ඛනිජතෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි!

June 6, 2020 at 7:11 am | by emanisa.lk

ලංකා ඛනිජ නීතිගත තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් Lubrication Oil නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලිහිසිතෙල් භාවිතය ගත් විට කිලෝලීටර් 65000 ඉක්මවයි. එහෙත් මෙතෙක් අප රටට අවශ්‍ය ලිහිසි තෙල් ආනයනය කිරීම නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ කරා මෙරටින් ඇදී ගියේය.

අප රටේ ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මූලික කටයුතු ආරම්භ කර තිබුණත් විවිධ හේතුන් මත එම නිෂ්පාදන කටයුතු ආරම්භ වී නොතිබිනි.

මේ සම්බන්ධව විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් සිදු කළ මැදිහත් වීම මත මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉදි කරන ලද අති නවීන යන්ත්‍රාගාරයක ලිහිසි තෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

මෙම අති නවීන උපංග සහිත යන්ත්‍රාගාරයේ වාර්ෂික ලිහිසි තෙල් නිෂ්පාදන ධාරිතාව කිලෝ ලීටර් මිලියන 33කි.

මින් පෙර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලිහිසි තෙල් නිපදවීමට පියවර නොගත් අතර අප රටට අවශ්‍ය ලිහිසි තෙල් පිටරටින් ආනයනය කරනු ලැබීය.

පසුගිය වසරේ දී ලිහිසිතෙල් ඉල්ලුම කිලෝ ලීටර් 65000ක් පමණ වූ අතර එහි වටිනාකම රුපියල් බිලියන 30කට ආසන්න බව අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දුන්නේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් “CEYPETCO” සන්නාමය යටතේ මෙම ලිහිසිතෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබෙන අතර දැනට නිෂ්පාදන ධාරිතාව 07%ක් වන අතර එය මෙම වසර අවසන් වීමට පෙර 20% දක්වා වැඩි කිරීම අරමුණ වේ.

අප රටේ නිපදවිය හැකි දෑ අප රට තුළ ම නිපදවා ගැනීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ආරම්භ කර තිබෙන අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලිහිසි තෙල් අප රටේ ප්‍රථම වරට නිපදවීම සඳහා රාජ්‍ය ආයතනයක් වශයෙන් ගන්නා ලද පියවර සම්බන්ධව එහි සමස්ත කාර්ය මණ්ඩලයට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තම ස්තුතිය පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස