කටුපොල් වගාව නතර කර රබර් පොල් වගාව සංවර්ධනයට ජනපති උපදෙස් දෙයි! (video)

February 27, 2020 at 6:50 pm | by emanisa.lk

කටුපොල් වගාව මගින් පාරිසරික හානියක් වන්නේ නම් එය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා අද (27) ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ.

මෙම රැස්වීමට පැමිණි ජනාධිපතිවරයාට, ප්‍රදේශවාසීන් පෙන්වා දී ඇත්තේ කටුපොල් වගාව හේතුවෙන් තමන් මහත් දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවයි. පානීය ජලය පවා සොයාගත නොහැකි තත්වයට පත්ව ඇති බවත්, ජල උල්පත් සිඳීගොස් ඇත්තේ කටුපොල් වගාව නිසා බවත් ඔවුන් ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා, ඒ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදුකර ලෙස උපදෙස් ලබා දී ඇති අතර කටුපොල් නිසා පරිසරයට හානියක් වන්නේ නම් වහාම කටුපොල් වගා කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස පවසා තිබේ.

කටුපොල් වගා කිරීමෙන් කෙතරම් ලාභ ලැබුවද, ඉන් පරිසරයට හානි සිදුවන්නේ නම් එම ලාභයෙන් ඵලක් නැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ දේශීය රබර් වගාව සහ වගාකරුවන් නගා සිටුවීම සඳහා රබර් ආනයනය වහාම නතර කිරීමට පියවර ගන්නා බවයි.

පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇති බවත් පෙන්වා දී තිබේ. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කළ ද එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. රබර් වගාව දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය වහාම නතර කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස