රට හදන්න අපට භාර දී ඉල්ලා අස්වීම හැර විල්පයක් ආණ්ඩුවට නෑ…!

December 5, 2021 at 10:46 am | by emanisa.lk

අර්බුදකාරී සමයේ රට ගොඩනැගීමේ කිසිදු හැකියාවක් හෝ සමත්කමක් නැති බව අවංකව පිළිගෙන ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව සමගි ජන බලවේගයේ  නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තව දුරටත් රටත් ජනතාවත් පීඩාවට පත් නොකොට රට ගොඩනැගීමට හැකි කණ්ඩායමකට ආණ්ඩුව භාරදී ඉවත්ව යාම මේ මොහොතේ ගතයුතු සුදුසු ම ක්‍රියාව බව  නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

“ජාතික ආරක්ෂාව  පිළිබඳව පුරසාරම් දොඩමින් බලය ලබාගත් ආණ්ඩුව, සෞඛ්‍යාරක්ෂිතව  ගෑස් සිලින්ඩරයක්වත් ජනතාවට ලබාදීමට නොහැකි තැනට රට පත් කොට ඇති අතර මේ ආණ්ඩුව විසින් රටේ ජන ජීවිත තුට්ටුවකට දමා ඇති තරම එයින්ම වටහා ගත හැකිය.

ගනු ලැබූ අන්තනෝමතික තීන්දු හේතුකොට ගෙන මේ රටේ සමස්ත කෘෂිකර්මාන්තය බරපතල අගාධයකට තල්ලු වී ඇති අතර  හිතාමතාම ආණ්ඩුව සාගතයට අත වනා තිබේ.

සියලු රාජ්‍ය සේවකයින් ද, පෞද්ගලික අංශයේ සේවකයින් ද , දෛනික කුලී කම්කරුවන් ද ඇතුළු සමස්ත ජන පරපුර අන්ත අසරණ අඩියකට ඇද දැමූ අභාග්‍යසම්පන්න යුගයක් වර්තමාන ආණ්ඩුව විසින් රටට ඉතිරි කොට තිබේ.

මේ වන විටත් රට පුරා පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති අතර අනෙක් පසින් කොරෝනා මරණ දාහතර දහසද ඉක්මවා යන තැනට රට පත් කොට තිබේ. අප මුල සිට ම කරන ලද සියලු අනතුරු හැඟවීම් මායිම් නොකළ ආණ්ඩුව ඒ නිසා ම අනතුර රට තුළට ගෙන්වාගෙන ඇත.

රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන ආණ්ඩුව සිය ගජ මිතුරන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නොවළහා පෙනී සිටින අතර සුළුතර කල්ලියක උවමනාව වෙනුවෙන් මුළු රටේ

ම අනාගතය බිල්ලට දීමට කටයුතු කොට ඇත.

සිය බල ව්‍යාපෘතිය උදෙසා උත්තරීතර පාර්ලිමේන්තුව පවා ප්‍රචණ්ඩත්වයේ  තෝතැන්නක් බවට පත්කරගනිමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කරන ෆැසිස්ට්වාදී පැවැත්ම පිළිකුල් සහගත ය.

මෙතරම් විනාශයක් රටේ සිදුවෙමින් තිබෙන අතර තව දුරටත් වර්තමාන ආණ්ඩුව කෙරෙහි අංශු මාත්‍රයක විශ්වාසයක් තබන්නට රටේ ජනතාව සූදානම් නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස