මෘතදේහ ආදාහනය අන්තවාදයට කිරි පෙවීමක්! සහරාන්ලා දහස් ගණනක් බෝ කරන වැඩක්!

December 24, 2020 at 10:17 am | by emanisa.lk

මුස්ලිම් කොරෝනා ආසාදිතයින් භූමදානයට විරුද්ධ ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා යැයි මතයක් ලෝකයට ගෙන යමින් ඇතැයි බොදුබල සේනාව පවසයි.

එහෙත් කිසිම සංඝ සභාවක් එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත් භික්ෂූන් වහන්සේලා වෛරසවේදීන් නොවන බවත් පවසන බොදුබල සේනා මහ ලේකම් හිමි දේශපාලකයින් භූමදානයට භික්ෂූන් වහන්සේ විරුද්ධ බව පවසමින් භික්ෂුව මුස්ලිම් ලෝකයේ වෛරයට පාත්‍ර කරමින් ඇතැයි චෝදනා කරයි.

මුස්ලිම් අන්තවාදය පිළිබඳ ප්‍රාමාණික හැදෑරීමක් නොමැතිව ජනප්‍රිය මතවාද වෙනුවෙන් පෙනී සිටීමෙන් ආණ්ඩුව ද අනතුරුදායක අඩියකට වැටී ඇතැයි එහිමියන් පෙන්වා දෙයි.

භික්ෂුව ජනප්‍රිය මතය නොව සාධාරණ මතය සහ සත්‍යය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් වළ දැමිය යුත්තේ මුස්ලිම් සංස්කෘතිය හෝ ඔවුන්ගේ ආගමික අයිතිය නොවන බවත් උන් වහන්සේ පැවසූහ.

ෂරියා බැංකු, කාති උසාවි, නිකාබය-බුර්කාව, පාසල් පොත්වලට අන්තවාදය රිංගවීම, මද්‍රාසා පාසල්, හලාල්, ෂරියා විශ්වවිද්‍යාලය, ගුවන්විදුලිය වපුරන මුස්ලිම් අන්තවාදය, මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන බලවේග පිළිබඳ කතා නොකරන පසුබිමක මුස්ලිම් භූමදානයට එරෙහිව රැඩිකල් තීන්දුවක් ගෙන ඇතැයි මහ ලේකම් හිමි පවසයි.

අවුරුදු සිය ගණනක් සිංහල දෙමළ සමාජය සමග සහයෝගයෙන් වාසය කළ මුස්ලිම් ජනතාව ඉන් වෙන්කළ මුස්ලිම් අන්තවාදය, සලෆිවාදය, ඉක්වාන් මුස්ලිම්, ජමාතේ ඉස්ලාම්, තබ්ලික් ජමාද්, තවුහිද් ජමාද් පිළිබඳ කිසිදු කතාවක් නැතැයි ද එහිමියන් චෝදනා කරයි.

නිවැරදි තීන්දුවක් නොගෙන මළ මිනි දේශපාලනයට යාම නිසා 1983 දෙමළ සමාජය සමග ගැටුමක් තනාගත් ආකාරයට ම දැන් නැවත මුස්ලිම් සමාජය සමග ගැටුමක් තනා ගැනීමේ පෙරනිමිති පහළ වී ඇතැයි මහ ලේකම් හිමි අනතුරු අඟවයි.

මුස්ලිම් මරණ ආදාහනය වන විට සමස්ත මුස්ලිම් සමාජය ම පිළිස්සෙන බවත් ඊට එරෙහිව අද සාම්ප්‍රදායික මුස්ලිම් මිනිසා ද වහාබිකාරයා ද එකතු වී ඇතැයි ද මෙය සහරාන්ලා දහස් ගණනක් නිර්මාණය කරන තැනට පත්ව ඇතැයි ද එහිමියන් සඳහන් කරයි.

එහෙයින් මේ දැවෙන ප්‍රශ්න සඳහා වහා විසඳුම් ලබා දිය යුතුව ඇතැයි ද මෙය මුස්ලිම් අන්තවාදය, CIA සංවිධානය මෙවැනි අවස්ථා සිය අරමුණු වෙනුවෙන් කළමනාකරණය කරමින් ඇතැයි ද උන් වහන්සේ අවධාරණය කරයි.

මුස්ලිම් අන්තවාදය පිළිබඳ කිසිදු හැදෑරීමක් නොමැති කණ්ඩායම් ඔලමොට්ටල තීන්දු තීරණ ගත්විට අනාගතයේ අනතුරේ වැටෙන්නේ ජාතිය බව ද මහ ලේකම් හිමි සඳහන් කළේ ය.

එහෙයින් මෙම ගැටළුව විසඳීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් සහ ආගමික නායකයින් ප්‍රමුඛ මණ්ඩලයක් පිහිටුවා වහා විසඳුම් ලබා දීමට කටයුතු කරන මෙන් මහ ලේකම් හිමි රජයෙන් ඉල්ලා සිටියේ ය.

ඊයේ (23) මාධ්‍ය හමුවකට එකතු වෙමින් මහ ලේකම් හිමි මේ අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස